කතානායකගේ මතය හරි හෝ වැරදි පිලිගත යුතුයි.. දිනේෂ් වගේම පාර්ලිමේන්තුවෙන් පැන්නිය යුතු තව අය ඉන්නවා…
March 12, 2017 at 3:00 pm | lanka C news
දිනේෂ් ගුණවර්ධන මහතාට සේම පාර්ලිමේන්තුවේදී විනය විරෝධීව හැසිරෙන සෙසු අයට එරෙහිවද දැඩි ක්‍රියා මාර්ග ගත යුතු බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ ගෞරවය රැක ගැනීමට සෑම පාර්ලිමේන්තු නියෝජිතයකුම බැඳී සිටින බවයි.
“පසුගියකාලේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම එතරම් හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. රට නියෝජනය කරන මහජන නියෝජිතයින් ලෙස ඔවුන් මීට වඩා සංවර ලෙස පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතුයි. ඒක අපිට විතරක් නෙවෙයි රටටත් ලොකු ආදර්ශයක් වෙනවා. එවැනි තත්ත්වයකදී දිනේෂ් ගුණවර්ධන මහතා ඒ අවස්ථාවේදී හරි ආකාරයට හැසිරණාද කියලා අපි හිතන්න ඕන. කතානායකතුමා අපි සියලුදෙනා වෙනුවෙන් ඉන්නේ. එතුමා කියනදේ හරි හෝ වැරදි හෝ එය අපි පිළිගත යුතුයි. එතුමා මුලසිටම අපි සියලුදෙනාගේම අයිතිවාසිකම් රකින්න ලොකු වෙහෙසක් දරනවා. ඒ වගේම මම මේ සිද්ධියේදී දිනේෂ් ගුණවර්ධන මහතාට පමණක් ඇඟිල්ල දිගුකරන්නේ නැහැ. මීට වඩා නරක විදියට පාර්ලිමේන්තුවේ හැසිරෙන අය මම දකිනවා. එවැනි හැසිරීම් රටා තියෙන ඕනෑම කෙනෙක් තාරාතිරම නොබලා පාර්ලිමෙන්තුවෙන් ඉවත් කරන්න ඕන. අනිත් අයත් වැරදි විදියට හැසිරෙන්න බයවෙයි එවැනි ආකාරයට දෙයක් කළොත්…”
ඔහු මේ බව කියා සිටියේ ගම්පහ උඩුගම්පල සද්දර්මගුප්ත පිරිවෙන් විහාරස්ථානයේ පැවැති “ගමේ පන්සල ගමට සවියක්” වැඩසටහනට එක් වෙමිනි.
පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු පත් කිරීමද මේ වන විට අර්බුදයට ලක්ව ඇති බවයි.
“දිනේෂ් ගුණවර්ධන මහතා නැතිනම් ඒ වෙනුවට ඉන්න ජ්‍යෙෂ්ඨ පුද්ගලයා කවුද. හිටපු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉන්නවා. ඊට අමතරව වෙල්ගම මහතා ඉන්නවා. මේ සියලුම දෙනා සිටිද්දී ඩලස් අලහප්පෙරුම මහතාට නායකත්වය දෙන්න හදනවා. ඒකෙන් මටනම් පේන්නේ මහින්ද මහත්තයා ආයිමත් පරණ ක්‍රමවේදය නැවත වරක් දේශපාලනයට ගේන්න හදනවා කියන එකයි. විශේෂයෙන් මෙතැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් බියක් නැතිව ඉදිරිපත් වූ අයට තැනක් නැහැ. පිටරට ගිහිල්ලා දේශපාලනයට නැවත වරක් පැමිණි කෙනෙකුට නායකත්වය දෙන්න හදනවා. මේක හොඳ පාඩමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට. අදටත් ඔය ඒකාබද්ධයේ ජනපදනම තියෙන කිහිපදෙනෙක් මෙතන ඉන්නවා. එක්කෙනෙක් ප්‍රසන්න රණතුංග, අනිත් කෙනා කුමාර වෙල්ගම. නමුත් කවදාවත් ප්‍රසන්න රණතුංග කෙනෙක්ට නායකත්වයට එන්න දෙන්නේ නැහැ මහින්ද මහත්තයා. ඒක එදත් වුණා. අදත් වුණා. හෙටත් වෙනවා. ඒක තේරුම් ගන්න අවශ්‍යයයි සියලු හැමදෙනාම….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.
– තමීර මංජු