කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසේ…

November 2, 2016 at 8:03 am | lanka C news
කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසේ…

වර්තමානයට ගැලපෙන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත්කෙරුණු මඩිහහේවා කමිටුවේ අවසන් වාර්තාව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා වෙත භාරදීම නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිදුකෙරිණි. මඩිහහේවා කමිටුව වෙනුවෙන් එම කමිටුවේ සභාපති සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා මහතා විසින් එම වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දෙන ලදි.

ශ්‍රී ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තු කිහිපයෙන් එකක් වන කම්කරු දෙපාර්මේන්තුව පූර්ණ ප්‍රතිව්‍යුගත කිරීමකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර 1998 දී ද කම්කරු දෙපාර්තමේන්තුව යම් ප්‍රමාණයකට ප්‍රතිසංවිධානයකට ලක් කෙරුණු නමුත් එම අවස්ථාවේදී මෙවැනි පුළුල් වෙනසකට පත් කිරීමක් සිදු නොවීය.

වත්මන් සමාජ ආර්ථික පරිසරයට ගැලපෙන පරිදි වඩාත් කාර්යක්ෂමව මහජන සේවාවන් ලබාදිය හැකි වන ආකාරයට කම්කරු දෙපාර්තමේන්තුව පුර්ණ වෙනසකට ලක් කිරීම තම අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය. කම්කරු නිලධාරීන් ඇතුළු කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කරන සියළු දෙනාගේ සේවාවන් ඇගයෙන පරිදි මෙම ප්‍රතිසංවිධානය සිදුවිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන්ම කම්කරු නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් නොමැතිවීමේ ගැටළුව විසඳීම කෙරෙහි සිය දැඩි අවධානය යොමුවී ඇති බවද අමාත්‍යවරයා පැවසීය .ඒ සඳහා මේ වන විටත් කම්ටුවක් පත්කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවත්, එම සේවා ව්‍යවස්ථාව සකස් කිරීමේ  කටයුත්තේදී මෙම වාර්තාව ද සැලකිල්ලට ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති මහින්ද මඩිහහේවා මහතා කියා සිටියේ දැනට දෙපාර්තමේන්තුවේ පවතින සෑම අංශයක්ම වඩාත් ශක්තිමත් කිරීම මෙන්ම නව අංශ ඇති කිරීම කෙරෙහි ද  නව තාක්ෂණය ඔස්සේ සමස්ත දිවයින ආවරණය වන නව ජාලයක් ලෙස  කම්කරු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරවීම කෙරෙහි ද මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වාර්තාව සකස් කිරීමේදී කමිටුව සිය අවධානය යොමු කළ බවයි.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න,කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග ඇතුළු කම්කරු අමාත්‍යාංශයේත් කම්කරු දෙපාර්තමේන්තුවේත් ඉහළ නිලධාරීන් රැසක් ද ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ සාමාජකයින් ද එක්ව සිටියහ.

– ඩබ්ලිව්.කේ.සරත් කුමාර

40 views

One Comment to “කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසේ…”

  1. මොක්කුන්ද මේ පින්තුරයේ ඉන්න කළු සුද්දෝ ටික. අඩුම වශයෙන් එකෙකුගේ වත් තියෙනවද ජාතික ඇදුමක් ගෑවිලාවත්.

Main News