කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අල්ලයි.. කොස්ගොඩ සුජී ඩුබායි සිට ඝාතන මෙහෙයවයි..

June 15, 2018 at 5:30 pm | lanka C news
කරන්දෙණිය උප සභාපති ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අල්ලයි.. කොස්ගොඩ සුජී ඩුබායි සිට ඝාතන මෙහෙයවයි..

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල එහි ප්‍රධාන සැකකරු අද (15) පෙරවරුවේ ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට (16) ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අංක-12, විහාරගොඩ, වතුගෙදර ලිපිනයේ පදිංචි මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර (28) නැමැති අයයි.

ඌරගස්මන්හන්දිය පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී තමන් වෙඩි තැබීම සිදුකරන ලද බවට පිළිගෙන තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ටී-56 ගිනි අවිය වෙනත් අයෙකුට ලබාදුන් බවද සැකකරු ප්‍රකාශ කර ඇත. එම ගිනි අවිය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

සැකකරු විසින් හෙලි කරන ලද තොරතුරු වලට අනුව වෙඩි තැබීම සදහා සැකකරු පැළද පැමිණි සපත්තු දෙක සහ හෙල්මටය සැකකරු සමගම පැමිණ වෙඩි තැබීම සිදු කරන ලද ස්ථානයට යාබද ඉඩමේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු, දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන ජගමුණි සුජීව ද සොයිසා (28) නොහොත් කොස්ගොඩ සුජී නැමැති අයගේ ගෝලයකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කොස්ගොඩ සුජී නැමැති අය ඩුබායි රටේ සැගවී සිට ඝාතන මෙහෙයවන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. කරන්දෙණිය උප සභාපතිවරයා ඝාතනයද කොස්ගොඩ සුජී නැමැති අයගේ උපදෙස් මත සිදු කළාය යන්නද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

වෙඩි තැබීම සිදු කිරීම සදහා මෙම සැකකරු රැගෙන යතුරු පැදිය පදවාගෙන පැමිණි පහළවෙල, උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි පත්තිනි හකුරු අසේල රණසිංහ (22) නැමැති අයද 2018 ජූනි මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා ඉකුත් 11 දා  නියෝග කළේය. සිද්ධිය වූ දිනට පසුදින ඌරගස්මන්හන්දිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු 10 දා සවස ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 11 වන දින දක්වා ඌරගස්මන්හන්දිය පොලීසිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකිරීමට රැදවුම් නියෝග ලබා දී තිබුණි. වෙඩි තැබීම සදහා සැකකරුවන් පැමිණි SP XJ – 7040 අංකය දරණ යතුරු පැදියද ඌරගස්මන්හන්දිය පොලීසියේ භාරයට ගෙන තිබේ.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ. ඉකුත් සිකුරාදා (08) රාත්‍රී 10.15 ට පමණ ඌරගස්මන්හන්දිය, කොරකීන හන්දියේදී උප සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

අද (15) අත් අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු‍ 2018 අප්‍රේල් 04 දින රාත්‍රී 9.00 ත් 9.15 ත් ඉදුරුව රෝයල් බීච් හෝටලය අසලදී එංගලන්ත ජාතිකයෙකු ඇතුළු දෙදෙනකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවෙකු බවටද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම වෙඩි තැබීමෙන් ඉදුරුව, රෝයල් බීච් හෝටලයේ අයිතිකරු සමන් ප්‍රසන්න නැමැති අය සහ ඔහුත් සමග සංචාරක ව්‍යාපාරයේ නිරත එංගලන්ත ජාතිකයෙක් තුවාල ලැබීය. දෙදෙනා ජිප් රථයකින් ගමනක් ගොස් ආපසු පැමිණ හෝටලය අසල සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි ඕපාත කංකානම්ලාගේ චන්ද්‍රලාල් (40) නැමැති අයද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, පොලිස් සැරයන් ධනපාල (28634) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

235 views