කසිප්පු බීම අඩු කරන්න ගල් අරක්කු බෝතලය රුපියල් 500කින් වත් මිල අඩු කල යුතුයි..- කැබිනට් ඇමති WDJ
April 26, 2017 at 3:50 pm | lanka C news
කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.
ඒ නිසා ගල් අරක්කුවල මිල අඩු කරන ලෙස කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න රජයට යෝජනාවක් කරයි.
ගල් අරක්කු මිල වැඩි වීමෙන් වතුකරයේ හා ගම්වල බීමට ඇබ්බැහි වූ බොහෝ පිරිසක් ඉතා විස සහිත අඩු වියදමකින් ලබාගත හැකි මත් ද්‍රව්‍යවලට විශාල ලෙස යොමුවෙමින් සිටිනවා. වර්තමානයේ වතු ප්‍රදේශවල පිරිමින් මෙන්ම කාන්තාවන්ද කසිප්පු පානයට දැඩි ලෙස යොමුවී සිටිනවා. කසිප්පු ජාවාරම් නැවැත්වීමට කොතරම් වැටලීම් කළත් එය නැවත නැවතත් ඉස්මතු වන්නේ අරක්කුවල මිල අධිකකම නිසයි.
මහන්සි වී වැඩ කරන බොහෝ පිරිසක් මහන්සියට සවසට ගල් අරක්කු ටිකක් පානය කරන්න පුරුදුව සිටිනවා. කසිප්පු පානය නිසා මොවුන් ඉතා ඉක්මනින් දරුණු රෝගයන්ට ගොදුරුවීම නොවැළැක්විය හැකියි. ඒ නිසා ගල් අරක්කුවල මිල තරමක් හෝ අඩු කරන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව සෙනෙවිරත්න මහතා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවැසීය.
මෙම දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ.විජේතුංග හා සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ගේ හා ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රි සිරිපාල කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙය ඉතා හොඳ යෝජනාවක් බවයි. හැකිනම් රුපියල් 500කින් පමණ මෙම මිල අඩු කළ හැකි නම් එමඟින් විස සහිත මත්ද්‍රව්‍ය කරා ඇදී යන පිරිස අඩුකරගත හැකි බවයි. සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.ඒ. විජේතුංග මහතාද මෙම යෝජනාවට පක්ෂව අදහස් දැක්වීය.
– මව්බිම