කාන්තා යතුරුපැදි වලින් මුදල් හා ජංගම දුරකතන සොරාගත් කල්ලියක් අත්අඩංගුවට..(CCTV)

March 22, 2018 at 12:40 pm | lanka C news
කාන්තා යතුරුපැදි වලින් මුදල් හා ජංගම දුරකතන සොරාගත් කල්ලියක් අත්අඩංගුවට..(CCTV)

වවුනියාව නගරයට පැමිණෙන කාන්තා යතුරුපැදි වල කැබිනය කඩා මුදල් හා ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනකු  ඊ‍යේ (21) අත් අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පැවසුවේය.

පොලිසිය පැවසූවේ වවුනියාව නගරයේ පොදු ස්ථානවල නවතා තබන කාන්තා යතුරුපැදි වල අසුන යට තිබෙන කැබිනය වෙනත් යතුරු යොදාගෙන  කඩා මුදල් හා ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ සොරාගැනීමේ සිද්ධීන් පිළිබඳ  වවුනියාව පොලිසියට ලද පැමිණිළි මත සිදුකළ  විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුට ගත් බවයි.

වවුනියාව අන්නානගර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් වන අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට ‍කොල්ලකෑම් සිදුකොට ඇති බව පොලිසිය අනාවරණය කො‍ටගෙන ඇත.

වවුනියාව පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 15ක් , මුදලින් රුපියල් 30000ක් , කාන්තාවන්ගේ මුදල් පසුම්බි, යතුරුපැදි කැබිනය විවෘත කිරීමට යොදාගත් විශේෂිත වූ යතුරක්ද සොයාගත් බවයි.

සැකකරුවන් වවුනියාව රෝහල, වවුනියාව අධිකරණ සංකීර්ණය හා පාසල් අවට ප්‍රදේශවල නවතා තිබෙන යතුරුපැදිවලින් අදාළ කොල්ලකෑම් සිදුකොටගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇති බවද පොලිසිය සදහන් කළේය.

කොල්ලකෑම්වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන අතර, උත්සව සමයේ වවුනියාව නගරයට පැමිණෙන යතුරු පැදිවල ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙසද වවුනියාව පොලිසිය ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6 views
Main News