කාලෝට-රාජිතට පිං දෙයි.. ගම්මන්පිලට කදුළු එයි.. ළගක උන්නා නම් දණ ගසා වදින බවත් කියයි..

February 21, 2017 at 2:10 pm | lanka C news
කාලෝට-රාජිතට පිං දෙයි.. ගම්මන්පිලට කදුළු එයි.. ළගක උන්නා නම් දණ ගසා වදින බවත් කියයි..

පිවිතුරු හෙළ උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

කාලෝට තුති මල් මිටක්

රාජිත සේනාරත්න ඇමතිතුමාට අපි හැමදාම කලේ දොස් පවරන එක. කලාතුරකින් හරි එතුමාට පිං දෙන්න අවස්ථාවක් ලැබුණාම අපි ඒක මග හරිනවා නම් අපි කුහක මිනිස්සු. අපි ආණ්ඩුවට දොස් කියන්නේ ආණ්ඩුව වැරදි වැඩ කරන නිසා. ආණ්ඩුව හොඳ දෙයක් කලොත් හොඳයි කියන්න අපි නම් පැකිලෙන්නේ නෑ.

දැන් රාජිත ඇමතිතුමා කළ හොඳ දේ මොකද්ද? ඒ තමයි මහචාර්ය කාලෝ ෆොන්සේකා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට යලිත් වරක් පත් කිරීම. එතුමා ඔය පුටුවේ සිටියේ නැති නම් සයිටම් ප්‍රශ්නය මේ වන විට ශිෂ්‍යයින් සහ ආණ්ඩුව අතර ලේ වැකුණු ගැටුමක් බවට පත් වෙලා. 1985 දී රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිලිබද ප්‍රස්නය මේ රටේ දැවැන්ත බීෂණයක් දක්වා උඩු දුවල තිබුනා. 88/89 භීෂණය ආරම්භවීමේ මුල වස්තුබීජය ලෙස සලකන්නේ රාගම වෛද්‍ය පීඨයට එරෙහිව ඇතිවු සටන. එතැනින් තමයි ආණ්ඩුව සමාජය තුල පවත්වාගෙන ගිය ආදිපත්‍යය සමාජ විරෝදය විසින් ග්‍රහණය කරගත්තේ මේ රාගම වෛද්‍ය පීඨයට එරෙහි සටන නිසයි. නමුත් සයිටන් ගැටුමේදී ඒ මැද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සිටගත් නිසා ලේ වැකුණු ගැටුමක් බවට පත්වීම වැලකුණා.

ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ එතුමාගේ ප්‍රවීණත්වය නිසාම එතුමාගේ මතයට අභියෝග එල්ල වෙන්නේ නෑ. එතුමා සයිටම් ගැටළුවේ දී දේශපාලන ක්ෂේත්‍රයෙන් අධිකරණ ක්ෂේත්‍රයෙන් එල්ල වුණු පීඩනයන්ට යට වුණේ නෑ. එතුමාගේ වයසේ දී අපේක්ෂා කරන්න බැරි තරම් අධිෂ්ඨානයක් සටන්කාමිත්වයක් වගේම නිර්භීත බවක් පෙන්නුවා. එහි ප්‍රතිඵලයක් විධියට අභියාචනාධිකරණය සයිටම් පිලිබඳ ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනා කරන්න වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. අපි ඒ තීන්දුව දොහොත් මුදුන් දී පිලි ගන්නවා. වෛද්‍ය සභාව මේ සටනේ දී දැක්වූ නොසැලෙන ගුණයට අපේ ප්‍රණාමය පුද කරනවා.

සයිටම් පිලිබඳ අභියාචනාධිකරණ තීන්දුව ලැබුණු අවස්ථාවේ මම එතුමාට දුරකතනයෙන් කතා කළා. එතුමා මොකද්ද කිව්වේ “මේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කරනවා ද නැද්ද කියලා මට තනියෙන් තීන්දු කරන්න බෑ. ඒක කවුන්සිලේ වැඩක්. හැබැයි පුතා මම මේ පුටුවේ ඉන්න තුරු ප්‍රමිතියෙන් තොරව සයිටම් පිලි අරන් වෘත්තීය ගරුත්වය කෙලසන්නේ නෑ. මට පුතා දැන් වයස අවුරුදු 84යි. වැඩිම වුණොත් මාව අරගෙන ගිහින් හිරේ දාවි. මගේ වෘත්තියේ ගරුත්වය රැකලා හිරේ යන එක මට ආඩම්බරයක්. මගේ ඇස් දෙකට ඇත්තටම කඳුළු ඉනුවා. මම හිටියේ එතුමා ලඟ නම් එතැනම දණ ගහලා වඳිනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය සහ රජයේ නිලධාරින්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් දැක් වූ පිලිම නෙලා නැති විරුවෙකු ලෙස කාලෝ ෆොන්සේකා මැතිතුමා ඉතිහාසයට එක් වේවි.

බුද්ධි අංශ රණවිරුවන් යලි අත්අඩංගුවට

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලේ යැයි චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන මාස 15ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා. මහ සංඝ රත්නය ඇතුළු දේශප්‍රේමින් අධිකරණය තුලත් ඉන් පිටත් කර ගෙන ගිය දැවැන්ත අරගලය හේතුවෙන් තමයි ඒ අයට ඇප ලැබුණේ. සාක්ෂිකරුවන්ට බලපෑම් කරනවා කියන ව්‍යාජ චෝදනාව ගොනු කරමින් පොලීසිය 2017.02.14 උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරමින් ලුතිනන් කර්නල්වරුන් වන ෂම්මි කුමාරත්න සහ ප්‍රබෝධ සිරිවර්ධන යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ උත්සාහ කරන්නේ මානව හිමිකම් සභාවෙන්, දෙමළ බෙදුම්වාදින්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් යුද අපරාධ විමර්ශනය අරඹන මෙන් තිබෙන පීඩනය අඩු කර ගැනීමට පුංචි බිල්ලක් දීමටයි. මාර්තු මාසයේ මානව හිමිකම් සැසිවාරය ආරම්භ කරන විට රණවිරුවන් රංචුවක්ම අත්අඩංගුවේ සිටියොත් තමයි බෙදුම්වාදින් සතුටු වෙන්නේ. බොහෝ විට මේ රණවිරුවන් දෙදෙනා බදාදා දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරාවි කියලා අද රණවිරුවන් අතර විශ්වාසයක් තිබෙනවා.

මුලින්ම කියන්න ඔන මෙතන තියෙන්නේ නඩුවක් නෙමෙයි. මහේස්ත්‍රාත් උසාවියේ විමර්ශණයක්. නඩු ගොනු කලාට පස්සේ ප්‍රසිද්දියේ ඒ ගැන කතා කල නොහැකියි. නමුත් විමර්ෂණ කටයුත්තක් ගැන කතා කිරීමට කිසිම නීතිමය භාදාවක් නෑ.

මෙතනදි මේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනාට නැගෙන චෝදනාව තමයි හමුදාවේ දැනටත් සේවය කරන ඔවුන් යටතේ එදා සේවය කල දෙදෙනෙකුට මේ අය දුරකථනයෙන් කතා කර තියෙනවා. එම පුද්ගලයන් දෙදෙනාගෙන් පොලීසියි ප්‍රස්න කරන්න ඉන්න නිසා සාක්ෂි කරුවන්ට බල පෑම් කරනව කියන එකයි මේ චෝදනාව. ඉන්දියාවේ විනිෂ්චිත තීන්දුවක් තියෙනවා මේ ගැන. කිසිවෙක් සාක්ෂිකරුවෙක් වෙන්නේ පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නට පස්සෙයි. එතෙක් සාක්ෂි කරුවෙක් නෙමෙයි. මේ විදිහට ගත්තොත් අද මම කිසියම් පුද්ගලයෙක් එක්ක කතා කරනවා හෙට පොලීසිය කියනවා අපි එයාගෙන් ප්‍රකාශයක් ගන්න හිටියේ. මෙයා ගිහින් එයාට කතා කලා. ඒක සාක්ෂි කරුවන්ට බලපෑමක් කියලා.

මගේ නඩුවේදීත් මටත් ඔය චෝදනාව එල්ල වුනා. සාක්ෂි කරුවන්ට ඕස්ට්‍රේලියාවට ගිහින් බල පෑම් කලා කියලයි දින 13 මාව ඇතුලේ තිබ්බේ. නමුත් අපේ නීතිඥවරුන් මේ ගැන තර්ක කලා. මොකද කෙනෙක් සාක්ෂිකරුවෙක් වෙන්නේ පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නට පස්සෙයි. එතෙක් සාක්ෂි කරුවෙක් නෙමෙයි. මගේ නීතිඥයන් උසාවියට ඉදිරිපත් කල ඒ තර්කය උසාවිය පිළිගත් නිසා මට ඇප හිමි වුනා.
මේක ඉතාම භයානක තත්වයක්. මොකද මම ගෙදර ගිහාම බිරිද සමග කොහොමත් කතා කරනව. මේ විදිහට පොලිසිය කියන්න පුළුවන් මගේ බිරිදගෙන් මට විරුද්ධව ප්‍රකාශයක් ගන්නයි හිටියේ. ඒ නිසා ඇයත් එක්ක ඔබ කතා කිරීමෙන් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදු වෙලා තියෙනවා කියලා .

මේ එක්නැලිගොඩ නඩුව ඉතාම විහිළු සහගත ලෙස ගොනු කල නඩුවක්. මිනීමැරුම් චෝදනාවක් නැගුවත් මේ දක්වා මිනී මරණවා දුටු කෙනෙක් නෑ. මළ මිණියකුත් නෑ. ඒ දෙකම නැතුව මේ නඩුව දෙවසරකට අධික කාලයක් දැන් ඇදගෙන යනවා. මේ අතරේ රණවිරුවන් බිලි දීමට සුරංගනා කතා ලියූ සාහිත්‍ය චක්‍රවර්ති ශානි අබේසේකරට නම් ආණ්ඩුව හොඳට සලකලා තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි ධූරයේ සිට කෙලින්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට ද්විත්ව උසස්වීමක් ලබා දී තිබෙනවා. එතකොට අර ස්වාධීන පොලිස් කොමිසමද මොකක්ද එකතුත් රටේ පිහිටෙව්වා නේද? මේ ද්විත්ව උසස්වීම ගැන ඒ කොමිසම මොකද කියන්නේ කියල දැන ගන්න අපිත් කැමතියි.

– අරවින්ද අතුකෝරල

0 views

One Comment to “කාලෝට-රාජිතට පිං දෙයි.. ගම්මන්පිලට කදුළු එයි.. ළගක උන්නා නම් දණ ගසා වදින බවත් කියයි..”

  1. යුක්තිය says:

    රාජිත කාලෝ ගෙනාපු එක හොදා….ඒත් රිෂාද් ගෙ ලංකා අාක්‍රමනයට සෘජුව දායක උනු දේශදෝහිය මූ තමයි…..

Main News