කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනී….

June 1, 2022 at 6:20 pm | lanka C news
කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනී….

වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට මොණරාගල ඇතැම් පුද්ගලයින් ඊයේ (31)  සහ අද (01)  දින තුළ උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට වාර්තා වී ඇත.

අද (01) දින පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

එහිදී අමාත්‍යවරයා කැබිලිත්ත වනාන්තරයේ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ කරුණු විමසනු ලැබීය. වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත්, එම පුද්ගලයින් ඒවායෙහි වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ දරන බව නිලධාරිහු පෙන්වා දුන්හ.

අද  (01) පෙරවරුවේ වනජීවි නිලධාරීන්  පිරිසක් විශේෂ කාර්ය බලකාය සමඟ කැබිලිත්ත වනාන්තරයට ඇතුල් වූවත්, ඇතැම් පිරිස් ඔවුන්ට බාධා කරන බව වාර්තා වූ නිසා අමාත්‍යවරයා මොණරාගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතා කර, පවතින තත්ත්වය විමසනු ලැබීය.

ඒ අනුව වගා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇතත්,  ඊට සුදුසු ඉඩම් තිබියදී රක්ෂිතයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම්, වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන, නීතිමය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම මහ කන්නයේ බඩඉරිඟු ඇතුළු වගාවන් ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේ සිට බැවින්, ඉන් පෙර,  වගාව සඳහා අවශ්‍ය ඉඩම් නොමැති පුද්ගලයින් හඳුනාගැනීමට සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පවත්වා පියවර ගන්නා තෙක්, කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් කිසිදු පුද්ගලයෙකුට හෝ ජාවාරම්කරුවන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන ලෙස අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සහ වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

16,956 views

2 Comments to “කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගනී….”

  1. කැබලිත්තට අත තබනා දූශිතයන් වහා අත්අඩංගුවට ගනු,.! says:

    කැබලිත්තට අත තබනා දූශිතයන් වහා අත්අඩංගුවට ගනු,.!
    වගාවට භූමිය අවශ්‍ය පුද්ගළයන් බදුක්‍රමය යටතේ මහවැළිය ආශ්‍රීතව ඉඩම් ළබාගතයුතුවන අතර ,කිසිම විදේශිකයෙකුට හෝ සමාගම් සඳහා රාඡ්‍යයේ ඉඩකඩම් ලබා නොදිය යුතු අතර,. දේශීය ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඉඩම් බදු පදනමයටතේ රඡයෙන් ලබාගැනීමට විනිවිදපෙනෙනා පොදු ක්‍රමවේදයක් වහාම ස්ථාපිතකර රටේ ඡීවත්වන සමස්ථයට අවශ්‍ය නම් ඉදිරිපත්වී වගකීම් සහිතව ඉඩම් බදු පදනම යටතේ ලබාගෙන වගාකීරීමට විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුයි,.!

  2. Rasika says:

    නුවර එළියේ හිටපු නගරාධිපති දොඩම්පෙගම්ගේ මලයා අහිංසක මිනිසුන්ට බලපත්‍ර වලට දෙන ඉඩමුත් අල්ලනවා . උසාවියේ නඩු ප්‍රාදේශීය ලේකම් ෂේප් කරනවා .පොලිසිය බුදි

Main News