කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූවන් පෙරෙට්ටුවේදී හදුනා ගනී..

June 25, 2018 at 1:20 pm | lanka C news
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූවන් පෙරෙට්ටුවේදී හදුනා ගනී..

කතරගම කිරි වෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් ඝාතනය කිරීම සදහා වෙඩි ප‍්‍රහාර එල්ල කල බව කියන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු නාහිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී පැවති හදුනාගැනීමේ පෙරට්ටුවේ දී හදුනාගැනීමට සමත් විය.

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබිමට ගිනි අවි අතැතිව පැමිණි බව කියන මාරපතිරගේ දිල්ෂාන් (18) නොහොත් කුරුලූ නැමැත්තා මෙසේ හදුනා ගැණුනි. ඒ කතරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් දිසානායක (73870) හා සිවිල් ආරක්ෂක කේ. ඒ. නිශාන්ත යන නිලධාරින් විසිනි.

නාහිමියන්ට වෙඩි තැබීමට පැමිණියේ යැයි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාරපතිරගේ කවිෂ්ක දිල්ශාන් (18) නොහොත් කුරුලූ නැමැති අය සහ හා අශාන් අනුරාධ (18) නොහොත් මල්ලී යන සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්  ලක්ෂමන් ප‍්‍රියංකර අතපත්තු මහතාගේ නියෝගය පරිදි පැවති හදුනාගැනීමේ පෙරට්ටුවේ දී සාකෂිකරුවන් තිදෙනෙකු ඔවුන් හදුනා ගැනීමට පොලිසිය ඉදිරිපත් කර තිබුනත් ඉන් දෙදෙනෙකු පමණක් එක් සැකරුවකු හදුනා ගැනීමට සමත් විය.

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති හිමියන් ඝාතනය කිරීමේ අරමුණින් උන්වහන්සේට වෙඩි තැබීමට පැමිණි බව කියන මෙම සැකකරුවන් දෙදෙනා ඇතුලූව මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකරුවන් 06 දෙනා සහ සැකකාරිය 2018 ජූලි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද තිස්සමහාරාම මහේස්ත‍්‍රාත්  ලක්ෂමන් ප‍්‍රියංකර අතපත්තු මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ කතරගම කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුවකු වන බෝපෙගෙදර අසේල ලක්මාල් බණ්ඩාරෙ (40) එකම පවුලේ නියුන් සොහොයුරන් දෙදෙනෙකු වන ජයවික‍්‍රම කංකානම්ගේ නුවන් කුමාර (24) ජයවික‍්‍රම කංකානම්ගේ ධනුෂ්ක ( 24 ), මාරපතිරගේ කවිශ්ක දිල්ශාන් නොහොත් කුරුලූ (18), ගල්වල ගමගේ අනුරාධ නොහොත් මල්ලි (18), දීපිකා දිල්හානි වීරරත්න (33) සහ ඇයගේ සැමියා වන හේවාවිතානගේ සුගත් නොහොත් (40) රාළහාමි යන සැකකරුවන්ය.

2018 ජුනි මස 12 වන දින රාත‍්‍රී 10.40 ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් වෙනදා මෙන් කිරිවෙහෙර චෛත්‍යය වහන්සේ වන්දනා මාන කර ආපසු සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප‍්‍රහාරයකදි විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරි වෙහෙර රජමහා විහාරය ඇතුඑ පංචමහා විහාරයන්හි විහාරාදිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුලත් කරනු ලැබීය.

කතරගම රෝහලට ඇතුලත් කරන ලද හිමිවරුන් දෙපල වැඩිදුර ප‍්‍රතිකාර සදහා තිස්සමහාරාම හා හම්බන්තොට යන රෝහල්වලට මාරු කර යැවූ බවත් හම්බන්තොට මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති නාහිමියන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝග මත පසුදින එනම් ජුනි 13 සවස 2.00 ට පමණ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් මේ වන විටත් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවත් කතරගම පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාවේ සදහන් වේ.

පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම සැකරකැවන් හදුනා ගැනිමේ පෙරට්ටුව සදහා ඉදිරිපත් කරන සැකකරුවන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්ථා සහ මෙම සිද්ධිය වූ ස්ථානයේ හා   සීසීටීවී කැමරා දර්ශන නිරික්ෂණය කර ඉදිරි පරික්‍ෂණ කටයුතු කිරිමට නියමිත වන අතර සෙසු සියලූම සැකකරුවන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අධිකරණයේ අවසර පතන බවයි. පළමුවන සැකකාර අසේල බන්ඩාර නැමැත්තා වසර ගණනාවක් කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවකු ලෙස කටයුතු කරමින් සිටියදී මීට වසර දෙකකට පමණ පෙර ඔහු ඉන් ඉවත් කිරීමට කිරිවෙහෙර නාහිමියන් කටයුතු කිරිම නිසා රුපියල් ලක්ෂ 30 ක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත නායක හිමියන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව ඔහුගේ පාපොච්චාරණ වලින් හෙලිවන බවද කතරගම පොලීසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරුණු දැක්වීය.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයින් දෙදෙනාට මුදල් කොන්ත‍්‍රාත්තුවක් ලබා දී  මනුෂ්‍ය ඝාතනයන්ට තැත් කිරිමේ චෝදනා මතත් සෙසු සැකකරුවන් හා සැකකාරිය මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත‍්‍රණය කරමින් ඊට ආදාර අනුබල ලබා දි ඇති බවට පරික්‍ෂණවලදී හෙලිවන බවටත් 1996 අංක 22 දරණ ගිනිඅවි සංශෙෘ්ධන පනත යටතේ හා අංක 44 දණ්ඩ නිති සංග‍්‍රහයේ 300වන වගන්තිය යටතේ අංක 102 , 113 යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් මෙම සැකකරුවන් සිදුකර ඇති බවද තොරතුරු අනාවරණය වන බවත් එම හේතුවෙන් ගිනි අවි යොදාගෙන මනුෂ්‍ය ඝාතනයට තැත් කිරිම ඊට අනුබල දීම හා මනුෂ්‍ය ඝාතනයන් කිරිමට කුමන්ත‍්‍රණය කිරිමේ චෝදනා අනුව මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව කතරගම පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. ඉදිරි පරික්ෂණ සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

– ජයකාන්ත ලියනගේ

215 views

2 Comments to “කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූවන් පෙරෙට්ටුවේදී හදුනා ගනී..”

  1. Mahasona says:

    මේවගේ දේවල් අපි අසා ඇත්තේ පෘතුගීසි කාලේ දොන් ජූවන් නැවත ඉපදීමත් සමග යලිත් පටන්ගෙන

  2. Wajira says:

    ඇදුම් ‌ෙපෙන්නන්ඩ එක්කන් යයිද දන්නේ නැ !!!

Main News