කිලිනොච්චියට නැවතත් වර්ෂාව… හමුදාවෙන් ළිං පිරිසිදු කිරීම් අරඹයි..

December 29, 2018 at 2:15 am | lanka C news
කිලිනොච්චියට නැවතත් වර්ෂාව… හමුදාවෙන් ළිං පිරිසිදු කිරීම් අරඹයි..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09 ක් විවෘත්ත කිරීමට සිදුව ඇති අතරම යුද හමුදාවේ සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මේ වන විටත් විපතට පත් වැසියන්ට සහන සැලසීම සිදුකරමින් සිටිති.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඊයේ සහ පෙරේදා දිනයන්හීද වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 09ක් විවෘත්ත කිරීමට සිදුව ඇති අතර (28) දිනයේද වැසිබර කාලගුණික තත්වයක් ඇතිව තිබේ.

මේ අතර ගංවතුර අඩුව ගොස් ඇති කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේදී යුද හමුදාව සහ නාවික හමුදාවේ දායකත්වයෙන් මඩවලින් පිරී ඇති සාමාන්‍ය වැසින්ගේ ඉඩම්හි පිහිටි ළිං පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කොට ඇත.

57 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ ඉල්ලීමකට අනුව උතුරු නාවික විධානයේ නාවික හමුදා සෙබලුන් 76 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 15 ක් විසින් ළිං පිරිසිදු කිරීමේ උපකරණද සහිතව පැමිණ 57 වන සේනාංකයට අනුයුක්ත වී 571 සහ 572 බලසේනාවන්හි යුද හමුදා සෙබලුන්ගේද සහය ඇතිව මේ වන විට විපතට පත් වැසියන්ගේ ළිං පිරිසිදු කරදීමේ කටයුතු අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,576 Viewers
Main News