කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා.. A-9 මාර්ගය අවහිරයි..

February 25, 2019 at 12:40 pm | lanka C news
කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා.. A-9 මාර්ගය අවහිරයි..

යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳම් ඉල්ලා උතුරේ ආරම්භ කරන ලද සත්‍යග්‍රහයන්ට වසර දෙකක ගත වුනද විසඳුම් නොලැබීම හේතුවෙන් අද (25) කිලිනොච්චිය නගරයේ දැවන්ත විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා උතුරු නැගෙනහිර යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අද (25) උදෑසන අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා සත්‍යග්‍රහය ආරම්භ කොට ඇති කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටට රැස් වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු සිය විරෝධාතාවය ආරම්භ කරමින් කන්දසාමි කෝවිල ඉදිරිපිට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ හිඳ ගනිමින් විරෝධතාවයේ නිරත වූ අතර ඒ-9 මාර්ගය අවහිර වීම හේතුවෙන් පැයකට අධික කාලයක් වාහන ගමනාගමනය නතර විය.

අනතුරුව විරෝධතා කරුවන් විසින් කන්දසාමී කෝවිල ඉදිරිපිට සිට විරෝධතා පෙලපාලියකින් කිලිනොච්චිය ඩිපෝ මන්සන්ධිය ප්‍රදේශයේ 55 මන්සන්ධියේ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා ගමන් කරනු ලැබීය.

විරෝධතා කරුවන් විසින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා ගමන් කොට අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා සකස් කරන ලද සන්දේශයක් කිලිනොච්චියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාල නිලධාරීන් වෙතට භාර දෙනු ලැබීය.

සන්දේශය භාර දීමෙන් පසුව විරෝධතා කරුවන් කියා සිටියේ යුද්දය අවසන් වී වසර 10 ක් ගෙවීමට ආසන්නව ඇති මෙම අවස්ථාවේදී යුද්දය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබාදීමට කිසිදු රජයකට මෙතෙක් නොහැකි වීම හේතුවෙන් අදාල ගැටලුව සඳහා වහාම ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු කොට ශ්‍රීලංකා රජයට බලපෑම් කොට අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටය.

එමෙන්ම එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදීද අතුරුදහන් වූවන් වෙනුවෙන් සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ රටවල් වෙතින් ඉල්ලීමක් කරන බවටද විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

137 views
Main News