කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් හදන්න අවුරුදු එකහාමාරකටත් වඩා ගත වෙලා..

January 22, 2021 at 2:28 am | lanka C news
කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් හදන්න අවුරුදු එකහාමාරකටත් වඩා ගත වෙලා..

අතිගරු ජනාධිපතිතුමන් අම්පාර උහන ලාහුගල ගම්මානයේදී පසුගියදා පැවති “ගම සමග පිළිසදර” වැඩසටහනේදී අම්පාර ලාහුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරිමට උපදෙස් දෙනු ලැබූවා. එමෙන්ම ලාහුගල, බොක්කබැද්ද, ඇතුල් ඔය දක්වා මාර්ගයේත් බක්මිටියාව, පත්තල්ගම මහඔය, කුරුදුවින්න මාර්ග වල සංවර්ධන කටයුතු පෞද්ගලිකවම ගොස් සොයා බලා ඒවා කඩිනමින් අවසන් කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා මාහට උපදෙස් ලබා දුන්නා. නැගෙනහිර පළාතේ I-Road මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සතුටුදායක මටිටමක නැහැ. කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් හදන්න අවුරුදු එකහාමාරකටත් වඩා ගත වෙලා. මිනිස්සු හිතන්නේ අපි වැඩ කරන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැති උනහම ජනතාවගෙන් බැණුම් අහන්නේ අපි. වැඩකරන්න බැරි නම් මාර්ග සංවර්ධන අධිකාරියට භාර දෙන්න යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත්කරුවන්ට පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රාවණාගාරයේදී නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පමනක් ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 1150ක් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම ග්‍රාමීය මාර්ග ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී නියමිත දිනට වගකීමෙන් යුතුව ඉදිකිරිම් කටයුතු අවසන් කල හැකි ඉදිකිරිම් සමාගම් වලට පමනක් කොන්ත්‍රාත් පවරන ලෙසට අතිගරු ජනාධිපතිතුමා මාහට උපදෙස් ලබා දුන්නා. නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල සමහර ගම්මාන වල මාර්ග තිබෙනවා කිලෝමීටරයකටත් වඩා අඩු, එම මාර්ග වල ඉදිකිරිම් පවා මේ වෙද්දී අවසන් කර නැහැ. මේවා අවසන් කිරිමට මේ වන විට වසර එකහාමාරකට වඩා වැඩි කාලයක් ගතවෙලා. එම පමා වූ ව්‍යාපෘති සියල්ලම ඉතා ඉක්මනින් අවසන් කල යුතු වෙනවා. නැගෙනහිර පළාත සංචාරකයින්ගේ වැඩිම ආකර්ශනයක් දිනාගත්ත පළාතක්. එම පළාතේ මාර්ග සංවර්ධනය කිරිමෙන් ආර්ථික වාසි රැසක් ලැබෙනවා. එම නිසා නැගෙනහිර පළාතේ මාර්ග පද්ධතිය පරිසරය සුරැකෙන අයුරින් තිරසර සංකල්පය පදනම් කරගෙන සංවර්ධනය කිරිම අපේ බලාපොරොත්තුවයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

14,562 views
Main News