කිසිම ඡන්දයක් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්.. පළාත් සභා මැතිවණයත් කල් දැමීමට කුමන්ත්‍රණයක්..

July 27, 2017 at 6:28 am | lanka C news
කිසිම ඡන්දයක් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්.. පළාත් සභා මැතිවණයත් කල් දැමීමට කුමන්ත්‍රණයක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ජූලි 10 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කළ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පනතෙන් බලාපොරොත්තු වන්නේ පළාත් සභා අපේක්ෂක ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් අවම වශයෙන් 30%ක් සිටිය යුතුයි යන නීතිය හඳුන්වා දීමයි. අපි ඒකට සම්පූර්ණයෙන් එකඟයි. 30%ක් නොවේ 50%ක් කළත් එහි ඇති වැරැද්දක් නෑ. නමුත් කාන්තා නියෝජනයක් ඉදිරියට දමමින් පුංචි ඡන්දය වගේම මේ මැතිවරණයත් කල් දැමීමේ කූට උපක්‍රමයක ආණ්ඩුව නියැලී සිටිනවා දැයි අපට සාධාරණ සැකයක් තිබෙනවා.

මීට පෙර පළාත්පාලන මැතිවරණ වල දී තරුණ අපේක්ෂකයින් 40%ක් ඉදිරිපත් කළ යුතු බවට නියමයක් තිබුණා. එතකොට ඒ ආයතනය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයින් ගණනත් තරුණ අපේක්ෂකයින් ගණනත් ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. නමුත් මේ පනතේ එහෙම විධිවිධානයක් නෑ. ඒ ඒ දිස්ත්‍රිකයෙන් අපේක්ෂක ලැයිස්තුවට ඉදිරිපත්කළ යුතු කාන්තා අපේක්ෂකයන් ගණන සදහන් කරලා නෑ. මුළු ‍අපේක්ෂක ගණනින් 30%ක් තම තමන් ගණනය කර ගත යුතුයි. පනතට අනුව දශම ගණන් ආවොත් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට ගලපා ගත යුතුයි.

නිදසුනක් විධියට කාන්තා අපේක්ෂක 30% ගණනය කරද්දී පිළිතුර 6.5ක් වුණොත් එය ගන්නේ 6 ලෙස ද නැතිනම් 7 ලෙස ද? 6.5 කියන අගය 6ටත් 7ටත් එක වගේ ආසන්නයි. සංධානය තමන්ගේ ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් 6ක් දානවා. ජවිපෙ කාන්තා අපේක්ෂකයින් 7ක් දානවා. අළුත් පනතට අනුව 30% අවමය නැතිනම් ලැයිස්තුව ප්‍රතික්ෂේප කළ යුතුයි. සංධාන ලැයිස්තුවේ කාන්තා අපේක්ෂකයින් ගණන නියමිත ලෙස නැති නිසා එය ප්‍රතික්ෂේප කළ යුතුයි කියා ජවිපෙ විරෝධතාවයක් මතු කරනවා. නමුත් සන්ධානය කියනවා ලැයිස්තුවේ සිටිය යුතු කාන්තා අපේක්ෂකයන් ගණන 6 නිවැරදි බවට. දැන් මැතිවරණ කොමිසම නිවැරදි ගණනය කියා පිලි ගන්නේ 6 ද? 7 ද?

එතකොට මේ පනත සම්මත කලාට පස්සේ මැතිවරණ කොමිසම කියාවි අයිසීසී ය හරියට රූල්ස් හදලා නැ. අයිසීසී රූල්ස් හදන තුරු අපිට අම්පයර් වැඩේ කරන්න බෑ කියලා. නැතිනම් කියාවි තාම හරියට පිච්එක හදලා නැ. පිච් එක හදල දුන්නොත් මැච් එක ගහන්නම් කියලා. අවසානයේ දී සිදු වන්නේ පුංචි ඡන්දය වගේම පළාත් සභා මැතිවරණයත් දින නියමයක් නොමැතිව කල් දැමීමයි. ඒ නිසා ජනතාවගේ පරම අයිතිය වන ඡන්ද බලයට අත නොතියන්නනම් මේ පනතට සංශෝධනයක් ගෙන ආ යුතුයි. කාන්තා නියෝජන සංශෝධනය මැතිවරණ කල් දැමීමේ උප්පරවැට්ටියක් නොවීමට නම් මැතිවරණ කොමිසම ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කළ යුතු අවම කාන්තා අපේක්ෂකයින් ගණන මැතිවරණ කොමිසම විසින් මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයේම ගැසට් මගින් ප්‍රසිද්ධ කළ යුතු බවට විධිවිධානයක් පනතට ඇතුළු කළ යුතුයි. නැතිනම් පුංචි ඡන්දයට හැදුණු බාලගිරි දෝෂය පළාත් සභා ඡන්දයටත් හැදෙන්න පුළුවන්.

– අරවින්ද අතුකෝරල

5 views

One Comment to “කිසිම ඡන්දයක් නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්.. පළාත් සභා මැතිවණයත් කල් දැමීමට කුමන්ත්‍රණයක්..”

  1. kuamra says:

    gammanpila mahaththayo, Obathuma laga ganan pas ekekwath nedda? Ganithaye sammatha krama thiyenawa…4 panthiye “ganitha wetayima” padama balanna… oyawage dekata updes ganna hithawathek, upadesakayek nethiwa giyoth me desapalanayen dinanna bahe..

Main News