කුඩා අලි පැටවා හක්කපටස් බෝම්බයට ගොදුරු වී පන අදියි….

January 1, 2022 at 8:02 am | lanka C news
කුඩා අලි පැටවා හක්කපටස් බෝම්බයට ගොදුරු වී පන අදියි….

මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ පිහිටි ගොවිබිමක හක්කපටස්  බෝම්බයකට හසුවී දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටින වන අලි පැටවකුට 31 දහවල් ප්‍රතිකාර කටයුතු සිදු කළ බවට උතුරු පළාත් වනජීවී පශු වෛද්‍ය කාර්යාලය පවසයි.

අවුරුදු තුනහමාරක් පමණ වයසැති අඩි 4 පමණ උසකින් යුක්ත මෙම අලි පැටවා පිළිබඳව 30 රාත්‍රියේ ප්‍රදේශවාසියෙකු විසින් මුලතිව් වනජීවී නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව උතුරු පළාත් පසු වනජීවි පශුවෛද්‍ය කාර්යාලය ට දැනුම් දීමට මුලතිව් වනජීවි නිලධාරීන් පියවර ගන්නා ලදි.

උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වනජීවී නිලධාරීන් පිරිසක් අද දින උදෑසන අලිපැටවා සොයා ගැනීමෙන් අනතුරුව එම ස්ථානයට ගොස් අලි පැටවාට සේලයින් ඇතුලු අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරන ලදී.

මෙම අලි පැටවාට ප්‍රදේශයේ දඩයක්කරුවෙකු විසින් අටවන ලද හක්ක පටස් බෝම්බයකට හසුවීම හේතුවෙන් මෙලෙස දැඩිලෙස තුවාල වී සිදුවී ඇති බවටත් අලි පැටවාගේ මුඛය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි ලෙසින් හානි සිදුවී ඇති බවට ද මේ හේතුවෙන් අලි පැටවාට ආහාර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවටද වනජීවී නිලධාරීන් පවසා සිටියහ.

හක්ක පටස් බෝම්බය තැබූ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය නොමැති වී ඇති අතර මුලතිව් වනජීවී කාර්යාලය විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

වනඅලි පැටවාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළදී ද ප්‍රතිකාර කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවටද උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේය

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,493 views

One Comment to “කුඩා අලි පැටවා හක්කපටස් බෝම්බයට ගොදුරු වී පන අදියි….”

  1. Gratiaen says:

    An inhuman act by a heatless bloke.We just imagine the unbearable pain and damage caused to the mouth of this innocent animal who is unable to enjoy its food to live as a result of this cruel act. The culprit should be apprehended and dealt with severely.

Main News