කුලියාපිටිය මුලික රෝහල මධ්‍යම රජයට.. වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්…

August 18, 2017 at 2:19 am | lanka C news
කුලියාපිටිය මුලික රෝහල මධ්‍යම රජයට.. වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්…

වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

එම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත. සබරගමුව විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිතය. කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. ඒ සදහා වූ කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. රජයට පවරා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ඒ පිළිබද කටයුතු කිරීමට කමිටුවක් පත් කර ඇත.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය, වයඹ විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පත් කර ඇත.

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරිම පිළිබද විශේෂ සාකචිඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

– ප‍්‍රසන්න අධිකාරී

256 views
Main News