කොටි වළ දැමු රත්රන් සොයා ඕමන්ත ප්‍රදේශයේ කැනීම්…

May 25, 2020 at 2:06 am | lanka C news
කොටි වළ දැමු රත්රන් සොයා ඕමන්ත ප්‍රදේශයේ කැනීම්…

එල් ටි ටි සංවිධානය අවසන් යුධ සමයේ  වවුනියාව, ඕමන්ත, කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඕමන්ත පොලිස් නිළධාරීන් හා ආරක්ෂක අංශ කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ ඉඩමක කැනීම් සිදුකෙරිණ.

ඕමන්ත පොලිසිය හා වවුනියාව ආරක්ෂක අංශ වෙත ලද තොරතුරක් මත ඕමන්ත පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කෝවිල්කුංචිකුලම ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.

පැය හතරක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබුවද ආරක්ෂක අංශ වෙත කිසිදු භාණ්ඩයක් හෝ උපකරණයක් නොලැබිණ.

පොලිසිය පැවසූවේ අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව ‍මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කොට කැනීම් කටයුතු නවතා දැමු බවයි.

කැනීම් වෙනුවෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නිළධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්, ඕමන්ත පොලිස් නිළධාරීන්, හමුදා නිළධාරීන්, පුරාවිද්‍ය නිළධාරීන්,වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය ආදි ආයතන රැසක නිළධාරීන් එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

138 views
Main News