කොන්ත්‍රාත්තුව පසකෙලා කොන්ත්‍රාත්කරු මැණික් ඉල්ලම් හාරයි..

March 3, 2019 at 2:02 am | lanka C news
කොන්ත්‍රාත්තුව පසකෙලා කොන්ත්‍රාත්කරු මැණික් ඉල්ලම් හාරයි..

කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ මුවාවෙන් ආපදා කළමණාකරණ අමාත්‍යංශයෙන් එම පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගත්  කොන්ත්‍රාත්කරු ඔය පුළුල් කිරිමේ කටයුතු පසකෙලා   ඔයේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට ප්‍රමුඛතාවය ලබාදෙන බව පවසමින් නොර්වුඩ් ප්‍රදේශවාසින් පිරිසක් කොන්ත්‍රාත්කරුට විරෝධය දක්වා සිද්ධිය සම්බන්ධයෙන්  නොර්වුඩ් පොලිසියට පැමිණිලි කර ඇත.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය නොර්වුඩ් ප්‍රදේශයෙන් කිලෝමිටරයක් පමණ දුරට පිටාර ගැලිම නිසා එහි නිවාස කිහිපයක් ජලයෙන් යටවිම හේතුකොට ගෙන ආපදා කළමණාකරණ අමාත්‍යංශය මගින් ඔයේ ඉවුරු අඩි පහක් පළලට කපා ඔයේ පතුල අඩි කිහිපයක් හාරා ගැඹුරු කරන ලෙසට අදලෙ කොන්ත්‍රාත්තුව රු ලක්ෂ 28 කට තලවකැලේ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදි තිබිණ.

කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් බහුල වශයෙන් තිබෙන නිසා ජාතික මැණික් ස්වර්ණාභරය අධිකාරිය මගින් එම ඔයේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන සේදිම සදහා වෙන්දේසියක් පැවැත් වු අතර එම වෙන්දේසියේදි ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරයෙකු රු ලක්ෂ 69 කට ආසන්න මුදලකට මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට බලපත්‍රයක්ද ලබාගෙන ඇත.

මැණික් ඉල්ලම් ගොඩ ගැනිමට බලපත්‍රයක් ලබාගත් ව්‍යපාරිකයා සහ ඔය පුළුල් කිරිමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් කොන්ත්‍රාත්කරුද එක් වි ආපදා කළමණාකරණ ඒකකය මගින් ලබාදුන් උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරමින් බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් කෙසෙල්ගමුඔයේ ඉවුරු  විශාල වශයෙන් කපා ඔය අඩි 25 පමණ ගැඹුරට හාරා විශාල පරිසර විනාශයක් සිදු කරමින් මැණික් ඉල්ලම් ගොඩගැනිම පමණක් සිදු කරන බව නොර්වුඩ් ප්‍රදේශවාසින් පවසයි.

විරෝධතාවය දැක්වු නොර්වුඩ් ප්‍රදේශවාසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල් කිහිපයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආපදා කළමණාකරණ ඒකකයේ බලධාරින් නොර්වුඩ් ප්‍රදේශයට පැමිණ කෙසෙල්ගමුඔයේ ස්ථාන පරික්ෂාවක් සිදු කරන තෙක් මෙම මැණික් ඉල්ලම් ගොඩ ගැනිම තාවකාලිකව නතර කරන ලෙසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

137 views