කොරොනා පැතිරීම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි.. කටුනායක දින නියමයක් නැතිව වහයි..

October 1, 2020 at 8:40 am | lanka C news
කොරොනා පැතිරීම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි.. කටුනායක දින නියමයක් නැතිව වහයි..

එළෙඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගුවන්තොටුපල විවෘත කල හැක්කේ සෞඛ්‍ය අංශ හා කොවිඩ් කමිටුවේ නිර්දේශ මත පමණක් බව පවසන ඇමතිවරයා රටත් ජනතාවත් අනතුරට දමා ගුවන්තොටුපල විවෘත කල නොහැකි බව අවධාරණය කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ඇෆ්ගනිස්ථාන් තානාපති මොහොමඩ් අශ්රෆ් හයිදාරී මහතා අතර ඊයේ (29) පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්වින.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සංචාරක හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණි. ඇෆ්ගනිස්ථාන තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙන ගිය ක්‍රියා පිළිවෙත ඉතා ප්‍රශංසනීය බවයි. ඒ නිසා සංචාරකයන්ට ඇති සීමා ඉවත් කිරීමත් සමඟ ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පල කලේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් නිදහස් රටත් ලෙස මේ වනවිට ලෝකයේ පිළිගැනීමක් ඇති වෙමින් බවයි.

මෙරට තරුණ තරුණියන්ට සංචාරක හෝටල් කලමනාකරණය පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා සහය පල කිරීමට ඇෆ්ගනිස්ථානය කැමැත්තෙන් සිටින බවද තානාපතිවරයා මෙහිදී කියා සිටියේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තුලද සංචාරක හෝටල් කේෂ්ත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින තරුණ තරුණියන්ට ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමේ යෝජනාවක් ඇතුලත් වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

සංචාරක සහ ආයෝජන කේෂ්ත්‍රයන්ට අදාලව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ද එක්ව සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා තිබියේදී රටත් ජනතාවත් අනතුරේ දමා ගුවන්තොටුපල විවෘත කිරීමට නොහැකි බව පෙන්වා දෙන රණතුංග මහතා ගුවන්තොටුපල විවෘත නොකලද විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කෙරෙන බවද අවධාරණය කරයි.

මේ අතර මාතර පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි කොරෝනා වෛරසය ආසාධිත බවට සැක කල රුසියානු ජාතිකයා මත්තල ගුවන්තොටුපලින් මාතරට එවීම පිලිබඳව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම විශේෂ පරීක්ෂණයක් අරඹයි.ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ. මත්තල ගුවන්තොටුපල නිලධාරීන්ගෙන් මේ සිද්ධියේදී කිසියම් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද ඇමතිවරයා සඳහන් කරයි

” කටුනායක හා මත්තල ගුවන්තොටුපල වල කාර්යභාරය ගැන අද මේ රටේ විතරක් නෙමෙයි ලෝකයම ප්‍රශංසාව පල කරනවා. එහෙම තිබියදී තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. කොහොම වුනත් ඒ ගැන අපිට විවිධ පාර්ශව පැමිණිලි කරන්නත් කලින් අපි පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා ” යැයිද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

– ප්‍රදීප් අනුර කුමාර

42,096 views

One Comment to “කොරොනා පැතිරීම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වයි.. කටුනායක දින නියමයක් නැතිව වහයි..”

  1. silva says:

    ඔව් ඔව් ඇවන්ගාඩ් එකටයි LSR එකටයි තව හම්බ කරගන්න ඉඩ දෙමු

Main News