කොරෝනා නාවා නම් ජනතාවගේ අතමිට සරුවෙලා ආර්ථිකය ශත්තිමත් වෙනවා..

October 9, 2021 at 6:20 am | lanka C news
කොරෝනා නාවා නම් ජනතාවගේ අතමිට සරුවෙලා ආර්ථිකය ශත්තිමත් වෙනවා..

‘රටේ ප‍්‍රශ්න දෙස ඍණාත්මකව නොබලා ධනාත්මක ලෙස ඒවාට විසඳුම් සොයන්නට එක්වන ලෙස රටේ බුද්ධිමත් ජනතාවට ආයාචනා කරනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ 2021 ඔක්තොම්බර් 08 දින පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී අමාත්‍යවරයා විසින් සිදුකළ සම්පූර්ණ කතාව,

‘මුදල් ඇමතිතුමා එතුමන්ගේ මෙම සභාව අමතමින් සිදුකළ මංගල කතාවේදී අවංකවම පිළිගත්තා වර්තමානයේ රටේ ආර්ථික කළමනාකරණයේ දුෂ්කරතාවයක් තිබෙනවා කියන එක. එතුමන් කිව්වා මේ අවස්ථාවේදී අපි ඉන්නේ හරියට මරණ 3 ක් ඇති මිනිහෙක් පැණි කනවා හා සමාන තත්වයක කියලා. ඒ යතාර්ථය පිළිඅරගෙන තමයි අපි මෙවර අයවැය සකස් කරන්නේ. නමුත් අපි මේ ගැටළුවලට විසඳුම් සොයන ගමන්ම අපට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්නට අපි මේ කතා කරන වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණය උනේ කොහොමද කියන එක. එතකොට තමයි අපි මේ කරන දේවල හරය ජනතාවට වැටහෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 ජනාපධිතිවරණයට ඉදිරිපත් වන විට අපි හොඳින්ම දැනගෙන හිටියා අපට විශාල ආර්ථික අභියෝගයකට මුහුණ දෙන්නට වෙනවා කියන එක. එය දැනගෙන තමයි අපි රට භාරගත්තේ. ඒ වගේම ඒ අවස්ථාවේ තිබූ ආර්ථික අභියෝගයට නිෂ්චිත විසඳුම් මාලාවක් රටට ඉදිරිපත් කරලා තමයි අපි ජනතාවගෙන් බලය ඉල්ලූවේ.

2019 අපි රට භාර ගන්න කොට මේ රට මොකද්ද මේ රටේ තිබිච්ච ආර්ථික තත්වය. මේ රටේ ආර්ථික වර්ධන වේගය ඒ වන විට 2.3% දක්වා පහලට ඇවිල්ලා තිබුණේ. මේ කලාපයේ අනෙක් රටවල් සියල්ලම දියුණු වෙන අවස්ථාවක. මාලදිවයිනේ වර්ධන වේගය ඒ වෙලාවේ 7% ක්, බංගලාදේශයේ 8.3 % ක්. නේපාලයේ 6.7% ක්. ඉන්දියාවේ 4% ක්. වියට්නාමයේ 7% ක්, පිලිපීනයේ 6% ක්. මේ වගේ තත්වයක තමයි ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3% ට පසුගිය රජය යටතේ පහලට ඇවිත් තිබුණේ. මේක ක‍්‍රමාණුකූලව අවුරුදු 5 ක් තිස්සේ සිදු වූ දෙයක්. 2015 දී ඔවුන් යටතේ ආර්ථික වර්ධන වේගය 5% ට අඩු වුනා. 2016 දී 4.5% ට අඩු වුණා. 2017 දී 3.6% ට අඩු වුණා. 2018 දී 3.3% ට අඩු වුණා. 2019 දී 2.3 % ට අඩුවුණා. මේ විදිහට ගියා නම් කොරෝනා ආවත් නැතත් 2020 ආර්ථික වර්ධන වේගය ඉතාමත් අඩු මට්ටමකට වැටෙනවා. මේ විදිහට ආර්ථිකය ක‍්‍රමක‍්‍රමයෙන් මන්දගාමි උනාට ඒ රජය තිබූ කාලයේ ලෝකයේ කිසිම ගෝලීය අර්බුදයක් තිබුණේ නැහැ. තෙල් ආර්බුදයක්, මූල්‍ය අර්බුදයක්, ආහාර අර්බුදයක් හෝ ගෝලීය වසංගතයක් හෝ කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ.

සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල කරන තෙල්මිල දිහා බැලූවත් ඒ වෙලාවේ රජයට ඉතාමත් වාසිදායක තත්වයක් තිබුණේ. සාමාන්‍යයෙන් තෙල් බැරලයකට ඩොලර් 55-65 වගේ පරාසයක් තුළ තමයි තෙල් මිල විචලනය වුණේ. නමුත් 2011-2014 කාලයත් සමග සංසන්ධනය කරලා බලන විට තෙල් මිල ඊට වඩා හුඟක් ඉහළ අගයක් ගත්තා. බැරලයක් ඩොලර් 110 ක වගේ ඉහළ අගයක තිබුණේ. මෙවැනි තත්වයක් තිබිළත් පසුගිය රජයට අපේ විදේශ සංචිත වර්ධනය කර ගන්න බැරි උනා. 2014 අපි එයාලට රට බාර දෙන විට මේ රටේ විදේශ සංචිත තිබුණා ඩොලර් බිලියන 8.3 ක්. නමුත් ඔවුන් අපට අවුරුදු පහකට පසුව ආපසු බාර දෙන විට විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 7.2 යි. මෙතනදි වැදගත් වන්නේ අපි කොතනද ඉන්න ඕනෙ කියන එක බලන්නට ඕනේ. 2014 වෙනකන් 2005 ඩොලර් බිලියන 2.7 න් පටන් ගෙන 8.3 කට වැඩි වූ සංචිත ප‍්‍රමාණය ඒ විදිහට ගියා නම් 2019 වන විට අඩුම තරමේ ඩොලර් බිලියන 13 ක් 14 ක් විය යුතුව තිබුණා. එසේ තිබූ සංචිත තමයි අපට 7.2 ට බස්සලා මේ අය භාර දුන්නේ. අඩුම තරමේ අර සම්පූර්ණයෙන් හදලා තිබූ හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලිවත් මේ සංචිතවලට එකතු වුණේ නැහැ.

2015-2014 කාලයේ මේ රටේ ආර්ථිකය ඩොලර් බිලියන 20 සිට 80 දක්වා වර්ධනය උනා. 2014 දී මහ බැංකුව පුරෝකථනය කළා 2019 වන විට මේ රටේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 145 දක්වා වර්ධනය වෙනවා කියලා. නමුත් ඇත්තටම මොකද උනේ 2015-2019 කාලයේ මේ රටේ දළ ජාතික නිෂ්පාදන වර්ධනය උනේ ඩොලර් බිලියන 3 කින් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 60 ක් විතර අපේ ඉලක්කයත් සමග සසඳන විට අපි පිටිපස්සෙන් හිටියේ. 2014 වසරේ පමණක් අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 287 කින් වැඩි වුණා. 2014 ඩොලර් 3800 ක් වූ ඒක පුද්ගල ආදායම අපි පුරෝකථනය කරලා තිබුණා 2019 වන විට ඩොලර් 6600 ඉක්මවනවා කියලා. ඩොලර් 2800 ක පමණ වර්ධනයක්. නමුත් මොකද්ද උනේ මේ වසර පහටම ඒකපුද්ගල ආදායම වර්ධනය උනේ ඩොලර් 50 කටත් වඩා අඩු ප‍්‍රමාණයකින්. 2014 දි ඒක පුද්ගල ආදායම ඩොලර් 3819 යි. 2019 දී ඩොලර් 3852 යි. ඒ තරම් කණගාටු දායක තත්වයක්.

ඒ වගේම අද මේ රුපියලේ අවප‍්‍රමාණය වීම ගැන කතා කරන හුඟක් අය අමතක කරලා තිබෙනවා මේ කාලය තුළ රුපියලේ අගය 40% කින් කඩා වැටුණා කියලා. 2014 දී ඩොලරයක මිල රුපියල් 131 යි. 2019 අවසන් වන විට එය ඩොලරයට රුපියල් 186 දක්වා ඉහල ගොස් තිබුණා. 2005 -2014 කාලයේ වසරකට 2.8 %කින් විතර අවප‍්‍රමාණය වෙච්ච රුපියල මේ වසර 5 තුළ 8% කින් පමණ වසරකට අවප‍්‍රමාණය උනා. මේ නිසා ආනයනික භාණ්ඩවල මිල ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් තිබුණා අපි රජය භාර ගන්න කොට.

ඒ වගේම පසුගිය රජයේ මුල්‍ය කළමනාකරණය ඉතාමත්ම දුර්වල තත්වයක තිබුණේ. අපි වසර ගණනාවක් තිස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් අයවැය පරතරය අඩුකරගෙන ඇවිල්ලා 2014 වන විට රුපියල් බිලියන 600 දක්වා අඩුකර තිබූ අයවැය පරතරය ක‍්‍රමක‍්‍රමයෙන් වැඩි කරලා 2019 වන විට රුපියල් බිලියන 1000 දක්වා වැඩිකරගෙන තිබුණා. මේ විදිහට අයවැය පරතරය වැඩි කරන කොට ඒ අය විසඳුම විදිහට කළේ මේ රටේ ජනතාව මත බදුබර වැඩි කරන එක. ව්‍යාපාර මත, සාමාන්‍ය ජනතාව මත අසීමාන්විත විදිහට බදු දැම්මා. ගෙයක් කුලියට දුන්නත් 20% ක් බදු අය කළා. බැංකුවේ තිබෙන ස්ථාවර තැන්පත්වල පොලියෙනුත් 5%ක් අය කළා. නිවසක්, වාහනයක් වික්කොත් 10% ක් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. කොටස් වෙළෙඳපොල ආයෝජනයක් කළොත් ඒකෙනුත් බදු ගෙවන්න ඕනේ. දඹදිව වන්දනාවේ ගියත්, පිටරටකට දරුවෙක් ගියත් බදු ෆයිල් එකක් අරින්නට ඕනේ. මේ වගේ තත්වයක් තමයි තිබුණේ.

2014 රුපියල් බිලියන 1195 ක් වූ රාජ්‍ය බදු ප‍්‍රමාණය 2019 වන විට රුපියල් බිලියන 1735 දක්වා වැඩිවෙලා තිබුණා. රුපියල් බිලියන 70 ක විතර වර්ධනයක්. මෙය ප‍්‍රශ්නයක් නැහැ ආර්ථිකයත් ඒ හා සමගාමීව වර්ධනය උනා නම් නමුත් ආර්ථිකය ඒ විදිහට වර්ධනය උනේ නැහැ. ඒ නිසා රාජ්‍ය බදු රටේ දල ජාතික නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් විදිහට 9.5% සිට 11.5% දක්වා මේ කාලය තුළ වැඩිවුණා. ව්‍යාපාර මත බදු වැඩිවුණා වගේම පොලී අනුපාතය වැඩිවුණා. ඒ නිසා 2014 වන විට තනි ඉලක්කමක්ව තිබූ පොලී අනුපාතය 2019 වන විට දෙගුනයකටත් වඩා වැඩිවෙලා තිබුණා. බදුබර හා පොලී අනුපාතය වැඩිවීම නිසා මේ රටේ ව්‍යාපාරවලට විශාල බලපෑමක් ආවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර රාශියක් වසා දැමුවා. විශාල ප‍්‍රමාණයක් බංකොලොත් උනා. රැකියා විරහිත භාවයටත් මෙය බරපතල ලෙස බලපෑවා. 2014 බලයට එනවිට යහපාලන රජය පොරොන්දු වෙලා තිබුණා රැකියා දශලක්ෂයක් දෙනවා කියලා. නමුත් ඇත්තටම උනේ තිබුණු රක්ෂාත් නැතිවීමයි. 2014 මහබැංකු වර්තාවට අනුව රටේ රැකියා ලක්ෂ 84 ක් තිබුණත් 2019 වන විට රැකියා ලක්ෂ 80 ට අඩුවෙලා තිබුණා. වයස අවුරුදු 20 ත් 30 ත් අතර ජනගහණය 17% ක් මේ වන විට රැකියා ව්‍යුක්තියෙන් පෙළුණා. ආර්ථික වර්ධනයක් නොවුනට මේ ආණ්ඩුව පුදුමාකාර විදිහට ණය ගත්තා. මේ 2014 අපි ආණ්ඩුව භාර දෙනවිට රටේ ණය බර තිබුණේ රුපියල් බිලියන් 7400 යි. දළ ජාතික නිෂ්පාදනය ප‍්‍රතිශතයක් විදිහට 71.3% යි. නමුත් 2019 අවසන් වන විට බදුබර රුපියල් බිලියන 13,000 ට වැඩිවෙලා තිබුණේ. දළ ජාතික නිෂ්පාදනය ප‍්‍රතිශතයක් විදිහට 86% ට වැඩිවෙලා තිබුණා.

2005- 2014 කාලයේ රජය ණය ගත්තා, ඒකේ තර්කයක් නැහැ. නමුත් බිලියන 5600 ක් ණය ගන්න විට රටේ ආර්ථිකය ඩොලර් බිලියන 60 කින් වැඩිවෙලා තිබුණා. ඉතිරි වසර 5 බිලියන 5600 කින් ණය ගන්න විට ඒ ආණ්ඩුව යටතේ ආර්ථිකය වර්ධණය වෙලා තිබ්බෙ ඩොලර් බිලියන 3 කින් පමණයි. ඇත්ත වශයෙන්ම අර බලාපොරොත්තු වූ විදිහට ගියා නම් මේ අවුරුදු පහ තුළ අඩුම ගානේ ඩොලර් බිලියන 60 කින් මේ රටේ ආර්ථිකයෙ වර්ධනය වෙන්න තිබුණා. එහෙම නම් අද මේ වන විට අපිට මේ ණය ප‍්‍රශ්නයක් නෙමෙයි. විදේශ සංචිත ප‍්‍රශ්නයක් නෙමෙයි. අපිට මේ ආර්ථිකයේ රාජ්‍ය ආදායම ප‍්‍රශ්නයක් නෙමෙයි.

2019 අපි මැතිවරණයට සූදානම් වන විට කොරෝනා තත්වයක් තිබුණේ නැහැ. අපි එදා සැලසුම් සකස් කළේ මේ ගෝලීය ආර්ථිකය 5% ක පමණ වේගයෙන් වර්ධනය වෙනවාය කියන පුරෝකථනය කළ තත්වයක. ඒ අවස්ථාවේදී අපට අවශ්‍ය වෙලා තිබුණා රටට ස්ථාවර ප‍්‍රතිපත්තියක් දෙන්න අපි යෝජනා කළා බදු අඩු, සරළ බදු තිබෙන පොලී අනුපාතය අඩු ප‍්‍රතිපත්තියක්. එයට තමයි ජනතාව ඡන්දය දුන්නේ. පොරොන්දු වූ ආකාරයටම අපි බදු අඩු කළා. පොලී අනුපාතය අඩු කළා. සාමාන්‍ය තත්වයක් යටතේ සිදුවුණා නම් පැහැදිලිවම මේ රටේ ආර්ථිකයට උත්තේජනයක් ලැබෙන්න තිබුණා. ව්‍යාපාර යළි ආයෝජනයට පෙළඹිලා. ජනතාවගේ අතමිට සරුවෙලා ආර්ථික කි‍්‍රයාවලිය සක‍්‍රීය වෙන්නට තිබුණා. නමුත් අවාසනාවකට වගේ අපි කිසිකෙනෙක් බලාපොරොත්තු නොවූ වසංගත තත්ත්වය මේ සියල්ල උඩු යටිකුරු කළා.

2020 වසරේ අපි මුහුණ දුන් තත්වය සමස්ථ ලෝකයටම පොදුයි. පසුගිය වසරේ ලෝක ආර්ථිකය – 3.6% කින් සංකෝචනය වුනා. 2.3 % ක පමන ඉතා සුළු වර්ධන වේගයක් පෙන්වූ චීනය හැරුන විට ලෝකයේ අනෙකුත් සියළු ආර්ථිකයන් වාර්ථා කලේ ඍණ වර්ධනයක්. අපේ අසල්වැසියා ඉන්දියාවේ අර්ථිකය – 8 යි. සිංගප්පුරුව – 5.4% මැලේසියාව -5.6 යි එක්සත් රාජධානිය – 9.8 යි. ඇමෙරිකාව – 3.5 යි, ජපානය -4.8 යි. මේ වගේ තත්ත්වයක් යටතේ තමයි ලංකාවේ ආර්ථිකයත් ගෝලීය ආර්ථිකයට සමගාමීව – 3.6% ක සංකෝචනයකට ලක්වුණේ.

ආර්ථිකයේ සිදු වූ මේ අනපේක්ෂිත පසුබෑම නිසා 2020 වසරේ අපට අපේක්ෂිත රාජ්‍ය ආදායම ලැබුනේ නැහැ. රාජ්‍ය ආදායම වුනේ රුපියල් බිලියන 1368 ක්. එය අපි බලාපොරොත්තු වූවාට වඩා 2019 ට සාපේක්ෂව රුපියල් බිලියන 500 ක පමන අඩුවක්. එහෙම කියලා ජනතාවගේ ප‍්‍රශ්න රජය අමතක කලේ නැහැ. තමුන්නාන්සේලා දන්නවා මේ වසංගත කාලේ ආසාධනය ලක් වූ සෑම පුරවැසියෙකුටම රජයේ වියදමින් ප‍්‍රතිකාර කළා. කොරෝනා ආසාධිතයන් සඳහා රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකළා. විශේෂ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකළා. රෝහල් පද්ධතියට ඇඳන් 35,000 ක් අලූතින් එකතු වුණා. රටපුරා ඇන්ටිජන් හා පීසීආර් පරීක්ෂණ කළා. වෛද්‍ය උපකරණවලට ආයෝජනා කළා පිටරටින් ඔක්ෂිජන් පවා ගෙන්නෙව්වා, නිරෝධායන වන පවුලවලට රුපියල් 10,000 ක බඩු මල්ලක් දුන්නා.

රට වැසූ සෑම අවස්ථාවකම රුපියල් බිලියන 30 ක් පමන වියදම් කරමින් දෛනික ආදායම් ලබන්නන්හට ආධාර ලබා දුන්නා. ඒ වගේම එන්නත්කරන ලෝකයේ සාර්ථකව සිදුකල රටක් බවට අපේ රට පත්වුණා. මේ වැඩ කටයුතු සඳහා පමනක් මේ දක්වා රුපියල් බිලියන 250 කට වඩා රජය වියදම් කොට තිබෙනවා. මීට අමතරව අසීරුතාවයට පත්ව සිටි ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ට සහන දෙන්නටත් විශාල මුදලක් වැය වුණා.

ඒ වගේම මේ වෙලාවේ අපට තිබෙන බරපතලම අර්බුදයක් තමයි මේ විදේශ විනිමය අර්බුදය. අපි දන්නවා යුද්ධයෙන් පසු අපේ අපනයනයන් ක‍්‍රමයෙන් වැඩි වී 2014 වන විට අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 11.2 පමන ක් වී තිබුනා. මේ ප‍්‍රමාණය වැඩිකර ගන්නට අපිට ඉතාමත් පැහැදිලි සැලැස්මක් තිබුණා. නමුත් පසුගිය රජය එම සැලැස්ම කි‍්‍රයාත්මක කරන්න අසමත් උනා. ඒ නිසා ඊට වසර 5 කට පසුව 2019 වන විටත් අපේ රටේ ආදායම තිබුණේ විදේශ අපනයන ඩොලර් බිලියන 11.9 පමණයි. මෙන්න මේ නිසා තමයි පසුගිය කාලය තිස්සේ ආනයනය හා අපනයනය අතර තිබූ ඩොලර් බිලියන 10 පරතරය පියවා ගන්නට අපට බැරි උනේ. සාමාන්‍යයෙන් ඒ වගේ පරතරයක් ඇති උනාහම එය පියවා ගන්න අපි උපකාර කර ගත්තේ සංචාරක ව්‍යාපාරය සහ විදේශ ශ‍්‍රමිකයින්ගෙන් එන ආදායම. නමුත් අපි හැමෝම දන්නවා සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියන 4.5 ක් පමණ මේ කොරෝනා වසංගතය නිසා සම්පූර්ණයෙන්ම නැතිවුණා.

මේ තත්වයට අමතරව අපට 2020 හා 2021 වසර දෙක තුළ විදේශ ණය වාරික ඩොලර් බිලියන 11.2 ක් ගෙවන්නට සිදු වුනා. මෙන්න මේ නිසා තමයි අද අපේ රටේ ඩොලර් සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 3.5 ට පමන අඩු වෙලා තිබෙන්නේ.

මේ තත්වය යටතේ අපට දැඩි ආනයන සීමාවන් හරහා වෙළඳ පරතරය ඩොලර් බිලියන 6 ට සීමා කරගන්නට පුළුවන් වුනත් තවමත් අපට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධාන මාර්ග යළි ප‍්‍රතිස්ථාපනය වන තුරු ඉතා පරිස්සමෙන් වැඩකරන්න. සාමාන්‍යයෙන් ආනයන සීමා කිරීම රටට හොඳ දෙයක් නෙමෙයි. මම කිසිසේත්ම මේ ආකාරයේ පාලනයකට කැමැති නැති වුනත් අපට පිළිගන්නට වෙනවා මේ අවස්ථාවේ යතාර්ථයට මුහුණ දෙන්නට ඕනේ කියලා.

ඒ වගේම පසුගිය කාලයේ අපේ රටට එන විදේශ ආයෝජන විශාල වශයෙන් අඩුවුණා. දැන් කොරෝනා අර්බුදයෙන් එළියට එන මේ අවස්ථාවේදී අපි මෙය වෙනස් කරගත යුතුයි. අපි මේ අර්බුදයෙන් එළියට යන්නට නම් අපි කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. සියළු දෙනාම එය දන්නවා නමුත් එය පසුගිය රජයට කරන්න බැරිවුණා. අපි එය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි සෑම අංශයකම නාස්තිය පිටු දැකිය යුතුයි. පළදායිතාවය වැඩිකළ යුතුයි. නව වෙඳෙපොලවල් හොයාගෙන අපනයන වර්ධනය කළ යුතුයි. ණය මත නොරැුඳී දේශීය හා විදේශීය ආයෝජන උනන්දු කළ යුතුයි. ණය ව්‍යාපාරවලට තිබෙන බධා ඉවත් කළ යුතුයි. ඒ සඳහා අපිට ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ලෙස අප ඉදිරිපත් කල ප‍්‍රතිපත්තිමාලව අපි අදත් වෙනස් නොකර ඉදිරියට ගෙන යන්නට අපි කැප වී සිටිනවා. එහි ප‍්‍රතිපළයක් වශයෙන් තමයි අපට පුළුවන් වෙලා තිබෙන්නේ මේ වසරේ පළවෙනි මාස 6 තුළ 8%ක පමණ වර්ධන වේගයක් පවත්වාගෙන යන්න අපි විශ්වාස කරනවා අපේ ප‍්‍රතිපත්ති දිගටම කරගෙන ගියොත් අපි අපට එය ඉදිරියටත් කරන්න පුළුවන් වෙයි කියලා.

ලෝකයේ අද දියුණු යැයි කියන සෑම රටක්ම වගේ ඉතිහාසයේ අති දුෂ්කර කාල පරිච්චේද පසු කොට තිබෙනවා. නමුත් ඒ රටවල් අභියෝග ජයගෙන නැගිට තිබෙන්නේ ජනතාවගේ ධනාත්මක සිතු පැතුම් නිසායි. ඒ නිසා අපටත් මේ අවස්ථාවේ ඕනේ වෙන්නේ ඍනාත්මකව මේ ප‍්‍රශ්න දෙස බලා දුක්වෙන එක නෙමෙයි, ධනාත්මකව මෙම ප‍්‍රශ්නය දෙස බලා විසඳුම් සොයන එක. ඒ නිසා මම මේ රටේ බුද්ධිමත් ජනතාවට ආයාචනා කරනවා මේ වෙලාවේ අපේ රටේ ප‍්‍රශ්න දෙස ඍණාත්මකව බලන්නේ නැතිව අපි ධනාත්මකව මේවා දෙස බලා ඒවාට විසඳුම් සොයමු. අපි සියළු දෙනා මේකට එකතුවෙලා මේවාට විසඳුම් සෙව්වොත් අපට මේ ප‍්‍රශ්නයෙන් මිදෙන්නට බැරිකමක් නැහැ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

7,350 views

15 Comments to “කොරෝනා නාවා නම් ජනතාවගේ අතමිට සරුවෙලා ආර්ථිකය ශත්තිමත් වෙනවා..”

  1. කුක්කා says:

    බූරු පුතානෝ බලයට ඇවිත් හිටියානම් මේ වෙනකොට ලන්කාවෙ ජනගහනයෙන් බාගයක් වත් මැරිලා ගිහින්. හැමෝටම ප්ලැකනිල් සහ ටොසිලිසුමැබ් දෙන්න කියාව්. හොඳ වෙලාවට ගොබ්බ රාල පැරදුනේ.

  2. කරැනාරත්න says:

    සුදුුකරපටි හොරා…..

Main News