කොරෝනා රැල්ල මැද සංචාරක ආයෝජන අනුමැතියට….

June 22, 2021 at 8:40 am | lanka C news
කොරෝනා රැල්ල මැද සංචාරක ආයෝජන අනුමැතියට….

මෙරට කොවිඩ් තුන්වන රැල්ල අතරතුරත් ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත් වෙයි. අ‍ප්‍රේල් මාසයේ සිට ජූනි 15වන දින දක්වා නව සංචාරක ව්‍යාපෘති 07ක් සඳහා යෝජනා ඉදිරිපත්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම නව සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමට අදාල කටයුතු මේ දිනවල සිදුවන බවයි.

පසුගිය අප්‍රේල් මාසය දක්වා වසර එක හමාරක කාලය තුල ඇමෙරිකන් ඩොලර් මිලියන 879.94ක නව සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබිණි. ව්‍යාපෘති සංඛ්‍යාව 54කි. ඉන් 29කට අනුමැතිය ලබාදී තිබේ. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 184.4කි.මේ යටතේ  කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපන ශාලා, දිය යට කලාගාර වැනි සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද මෙරට සංචාරක ආයෝජන සඳහා යෝජනා ඉදිරිපත් වීම මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා ඉතා හොඳ ප්‍රවණතාවයක් බවද ඇමතිවරයාගේ අදහසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රයට අදාලව නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමුකර තිබේ.සංචාරකයින් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යයට අමතරව සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගත් නව ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.ඒ අනුව විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන,ආගමික,සංස්කෘතික,ජාතික උරුමයන්,ත්‍රාසජනක ක්‍රීඩා,වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්තය,දේශීය ආයුර්වේදය යන ක්ෂේත්‍ර පුළුල් කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි.

මේ වනවිට සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබා දී මේ ක්‍රියාවලිය විධිමත් හා කඩිනම් කර ඇතැයිද ඇමතිවරයා කියයි. ඊට අදාල රාජ්‍ය ආයතන 43ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරීමට කටයුතු යොදා තිබේ. දැනටමත් රාජ්‍ය ආයතන 10ක් එම අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා ඇත. සංචාරක ආයෝජන සඳහා අනුමැතිය ලබාදීමට කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයෝජන සබඳතා ඒකකයක්ද ස්ථාපිත කර තිබේ. එය ස්ථාපිත කර ඇත්තේ ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව,රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගෙන බවද ඇමතිවරයා කියයි.

– ප්‍රදීප් අනුර කුමාර

23,154 views
Main News