කෝටි 2100කට අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමක්.. ලංවිම හාන්සිකරන සූදානමක්..

September 6, 2020 at 12:00 pm | lanka C news

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රුපියල් කෝටි 2100 ක් ගෙවා අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමේ සූදානමක් ලංවිම  හාන්සිකරන  හදිසි විදුලිය මිලදී ගැනීම් වහාම නවතන්න.

කෙටිකාලීන පදනම මත විදේශීය සමාගම් දෙකකින් විදුලිය මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය සුදානම් වන බව  අප සංවිධානයට  වාර්තා වී ඇත. හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මේ සමාගම් වෙත දැනටමත් ටෙන්ඩරය පිරිනැමීමටද අවශ්‍ය පියවර ගෙන ඇත. එක් විදුලි ඒකකයක් සදහා රුපියල් 31කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බව අදාල කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබුණද ඒ මිල ගණනය කර ඇත්තේ ඩොලරයේ අගය රුපියල් 181ක පදනමෙ සිටය. මේ වන විට ඩොලරය රුපියල් 185ක් දක්වා ඉහල ගොස් තිබේ. ඒ අනුව විදුලි ඒකකයක් සදහා ගෙවන සැබෑ මිල මේ වන විටද රුපියල් 31කට වඩා වැඩි වන අතර ඉදිරියේ දී ඩොලරයේ අගය ඉහල ගියහොත් මෙම පුද්ගලික බලාගාර වලට ගෙවිය යුතු මුදල තවදුරටත් ඉහල යනු ඇත. ඒ අනුව මෙම හදිසි විදුලිය මිලදී ගැනීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට දරන්නට සිදුවන වියදම් රුපියල් කෝටි 2100 කට අධික වනු ඇත. මෙයින් කෝටි 400 ක් පමණ ගෙවනුයේ එම බලාගාර වල ආයෝජන මුදල් වශයෙනි.

ලංකා විදුලිබල මණ්ඩලයට තමන්ගේම බලාගාර ඉදිකර ගැනීමට ඇති මුදල් පුද්ගලික සමාගම් වලට බලාගාර ඉදිකර ගැනීමට ලබාදීමේ ජාවාරමක් ලෙස මෙය හැදින්විය හැකිය. පසුගිය අවුරුදු 5 පුරාම එකම විදුලි බලාගාරයක් ඉදිකිරීමට ලංවිම අසමත් විය. එය ලංකා විදුලිබල මණ්ඩලය විසින් හිතාමතා කල එකකි. තමන්ටම අයත් අඩු වියදම් බලාගාර ඉදිකලහොත් විදුලි හිගයක් මවාපෑම අසීරු වන හෙයින් ලංවිමට අයත් අඩු වියදම් බලාගාර ඉදිකිරීම දිගින් දිගටම ප්‍රමාද කරනු ලබයි.

2015 සිට 2020 වන විට ඉදිකර ජනන කටයුතු ආරම්භ කල යුතුව තිබු බලාගාර ධාරිතාවය මෙගා වොට් 1500කට අධිකය. එම බලාගාර නිසි කලට ඉදිකලා නම් මේ වන විදුලි අතිරික්තයක් අපට ලබාගැනීමට ඉඩ තිබුණි. එම අතිරික්තය ඉංදියාවට අපනයනය කිරීමට පවා හැකියාව තිබිණි. මෙරට විදුලි මාෆියාව විසින් අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොදෙයි. විදුලි ඉංජිනේරුවන්, විදුලි බල අමාත්‍යංශයේ නිලධාරීන්, දේශපාලනඥයින් හා ඇතැම් තානාපතිවරු පවා හවුල් වන මේ විදුලි මාෆියාව නව රජයේ යටතේද සක්‍රිය වී ඇති බව මෙම හදිසි විදුලිය මිලදී ගැනීමෙන් ඔප්පු වේ.

හදිසි විදුලිය මිලදී ගැනීමේ ඉතිහාසය පිරික්සීමේදී විදුලිය බිද වැටීම හා සම්බන්ධයක් පවතී. විදුලි හිගය නැමැති බිල්ලා මවාපෑමට මුලින්ම දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමේ ලංවිම ඉංජිනේරු සහාය ඇති ව සිදු කරයි. යහපාලන රජයේ යටතේ තුර්කි නැව් 2කින් මෙගා වොට් 400ක් විදුලිය මිලදී ගැනීම සදහා යෝජනා ගෙන්වා ගත්තේ 2019 මාර්තු මාසයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමෙන් පසුවය.

දැන් මේ වර්ෂයේ හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට යන්නේ ද අගොස්තු 17 වැනිදින රට පුරා විදුලිය බිද වැට්ටවීමෙන් පසුවය. එය විදුලි අධිකාරිවරයෙකුගේ අත්වැරද්දකීන් බව කීවද නිසි පරීක්ෂණයකින් තොරව එම නිගමනයට එළඹී ඇති බව පෙනේ. එදින අක්‍රිය වු නොරෝච්චෝලේ සංකීර්ණයෙහි මෙගා වොට් 300 ක එක් බලාගාරයක් මේ වන විටත් අක්‍රියව පවතී. එසේ අක්‍රිය කිරීම නිසා මෙගා වොට් 300ක හිගයක් ඇති වේ. එම හිගයට පිළියම හදිසි විදුලිය මිලදී ගැනීමයි. මෙම බිදවැටීම පිළිබද කරන පරීක්ෂණ ද පක්ෂපාති බව පැහැදිලිය. එම බිද වැටීමට ඝෘජුව වගකිව යුතු ඉංජිනේරු පිරිස ආරක්ෂා කිරීම සදහා ඇමතිවරයා පත්කල කමිටුවටද ලංවිම ඉහල කළමනාකරණයේ විදුලි ඉංජිනේරුවෙක් පත්කර තීබීමෙන් පැහැදිලි  වේ. එයද විදුලි මාෆියාවේ උපක්‍රමයකි. විදුලිබල අමාත්‍යවරයාද නොමග යවා ඇති බව පෙනේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ දුෂණ හා අක්‍රමිකතා පිලිබද නිසි අවබෝධයක් ලබා නොගතහොත් වත්මන් අමැතිවරයාටද විශ්‍රාම යාමට සිදුවන්නේ එකම විදුලි බලාගාරයක් වත් ඉදිනොකර හදිසි විදුලිය මිලදී ගෙන ලංවිම පාඩුව තවදුරටත් ඉහල දැමීමෙන් පසුවය.

මෙම හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා නොදිය යුතු බවට අපි ප්‍රකාශ කරමු. මේ වන විටත් නීති විරෝධී විදුලි ගිවිසුම් 3ක් ක්‍රියාත්මක වේ. ජනාධිපති තුමාගේ සෞභාග්‍යෙය් දැක්මෙහි සදහන් වන්නේ එම නීති විරෝධී විදුලි ගිවිසුම් අහෝසි කරන බවයි. එසේ නම් තව තවත් නීති විරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම නතර කල යුතු ය. ඒ වෙනුවට මේ වන අනුමත ජනන සැළසුම් වල ඇති අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට වහා පියවර ගත යුතුය. එම බලාගාර ඉදිකිරීම ප්‍රමාද කළ, ප්‍රමාද කරන හා ඉදිරියේදීත් එම බලාගාර ඉදිකිරීම පැහැර හැරීම සදහා කුමන්ත්‍රණය කරන ඉංජිනේරු පිරිස හදුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු ය.

රංජිත් විතානගේ 
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

27,388 views

9 Comments to “කෝටි 2100කට අධික මිලට හදිසි විදුලිය මිලදී ගැනීමක්.. ලංවිම හාන්සිකරන සූදානමක්..”

  1. හතර හිනා says:

    බුල්-ඩෝ-ස’ තවම මේ ගැන දන්නේ නෑ.
    දැනගත්ත ගමන් නවත්වන්න ඕඩර් ද‌ෙනවා.ඊට පස්සේ ස්ථාන පරීක්ෂාවකින් පසු තමා OK කරන්නේ.

  2. Saman says:

    respect sir

  3. sirimewan says:

    පානදුර නගරයේ හැම තිස්සේම විදුලිය විසන්දි වෙනවා. September 07 සහ 13 විදුලිය නැතුව යනවලු උදේ 8 සිට 5 දක්වා, මේවාට විසදුම් නැතිද?

  4. අමල් says:

    .
    තුර්කි විදුලි නැව වගේ නැවක් ( පෙරසවි වගේ ) අපට මිලට ගන්න බැරිද ?

  5. neil says:

    Bring atomic power generation under different agency and produce nuclear energy out of the scope of Electricity mafia – CEB. Distribution could be through suitable mechanism which is easier than power generation issue. Under no circumstances, nuclear power generation should be given to CEB. (probably this could be done for renewable energy generation under separate corporation)

  6. catseye says:

    ඔහොම යං ………..ඔහොම යං ……………69 යක් පිරිසට පින්

  7. අපේ රට says:

    1985 සැලසුම් කල “ගල් අගුර බලාගාරය” හා ‘ඉහල කොත්මලේ” මහින්ද ජනපති 2005 ඇරබිය. එය ප්‍රමාදවුයේ ලංවිම පිරිස් නිසා නොව බඩගැත්තර දේශ්පාලුවන් හා උන්ට කඩේයන හිවල් නිළදාරින් නිසාය. මේ කියන විදුලි අවශ්‍යතාවයට “සම්පුර් MW 500” මහින්ද ජනපති සැළසුම් කලත් යහපාලනේ එය නැවැත්විය. ඒ වෙනුවට “නොරොච්චෝලෙම MW 300” සැලසුම් කරනකොටත් කබ අදින්නේ ලංවිමද? “යාන්ත්‍රීක බලාගාරයක්” අපදාවකට පත්වුනොත් එය නැවත යාවත් කිරිම්ට යනකාලය “ජලවිදුලි බලාගාරයකට” වදා වැඩියි. “කෙරවලපිටිය” “නොරොච්චෝලේ” වගේ බලාගාරයක් System එකෙන් ගිලිහුනොත් එම විදුලි ප්‍රමානය දරාගැනිමට නොහැකි නිසා රටම “බල්ක් අවිට්” විමේ ප්‍රවනතාවය වැඩියි. මේනිසා තමයි “ලංවිම” “සම්පුර්” යෝජනා කරල මහින්ද මහතා ලවා කරගන්න ගියේ. සත්‍ය මේ නිසා ජනපතිතුමන්ට කියයුත්තේ ,”නොරොච්චෝල MW300″ “උමාඔය” “මන්නාරම් දෝනියේ සුළං බලාගාර “කඩිනම් කිරිමත් දිගුකාලින විදුලි සැලසුමක් රටට ආදරය කරන “විදුලි උගතුන්” සමග සැලසුම් කර ක්‍රියාත්මක කිරිමයි. එහෙම උනොත් රටම විදුලියෙන් ගොඩ, නැත්නම් CEB හබක්.

  8. saman says:

    රට දියුනු වෙන ගමන් අනිත් අයත් ටිකක් දියුනු උනට කමක් නෑ

  9. Saradiel says:

    වහාම කල යුතු දෙයක්

    ලංකා විදුලිබල මණ්ඩලයයේ ඉන්න ද්‍රෝහියන් ඉවත් කර රටට ජනතාවට ආදරය කරන අය පත් ක‍රන්න.

Main News