කෝප්(Cope), කෝපා(Copa) රැස්වීම් සියළු මාධ්‍යයන්ට විවෘත කරනවා.

December 9, 2016 at 2:02 am | lanka C news
කෝප්(Cope), කෝපා(Copa) රැස්වීම් සියළු මාධ්‍යයන්ට විවෘත කරනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙපමණ කලක් කඩදාසි මිටි ගණන් රැස් කරමින් ක්‍රියාත්මක කළ කටයුතු නොබෝ දිනකින්ම විද්‍යුත් දත්ත බවට පත් කර පාර්ලිමේන්තුව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති මූල්‍ය පාලන බලය කාර්යක්ෂම කරන බවත්, එමෙන්ම කෝප් සහ කෝපා රැස්වීම් නුදුරේදීම සියළු මාධ්‍යන්ට විවෘත කිරීමට පියවර ගනු ලබන බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පළ කළේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු ශාලාවේදී පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවන්හි 2017 වසරේ සැලැස්ම ඉදිරිපත් කිරීමේ විශේෂ රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අදාල කාරක සභා නි‍යෝජනය කරන මන්ත්‍රීවරු මෙන්ම සියළුම අමාත්‍යංශ ලේකම්වරුද මේ සඳහා එක්ව සිටියහ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පැවසූයේ ඉතිහාසයේ පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය ඉතා ස්වාධීනව හා ශක්තිමත්ව ක්‍රියාත්මක වන යුගයක් බවට වර්තමාන අවධිය හැඳින්විය හැකි බවත්, විශේෂයෙන්ම විපක්ෂයට කාරක සභා සභාපතිධූර සහ සාමාජිකත්වයෙන් 50 % ක්ම පිරිනැමීමට හැකි වීම තුළ එය ප්‍රත්‍යක්ෂ වන බවත්ය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේවත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කාරක සභාවල නොමැති බලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට හැකි වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ද කථානායකවරයා පැවසීය.

මෙහිදී කථානායකවරයා සඳහන් කළේ කලකට පෙර අවංක රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව ආරම්භ කළ Clean Hand (ක්ලීන් හෑන්ඩ්) සංකල්පය මගින් කළ හෙළිදරව්ව අනුව රජයේ මුදල් සියයට හතලිහක් නාස්තිය හෝ දූෂණයට ලක්වන තත්ත්වයක් තිබූ බවය. නමුත්, මෙම කමිටු සවිබල ගැන්වීම මෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක විමත් සමග පියවරෙන් පියවර එම අවාසනාවන්ත තත්ත්වය අවම කර ගත හැකි වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

“රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා දිගින් දිගටම ප්‍රමාද වන තත්ත්වයක් තිබුණා මට මතකයි. 2002 දී රජයේ ගිණුමක් ඉදිරිපත් වුනා වසර 15 කට පසුව. දැන් කොහොම හරි ජූනි මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයක්ම විගණන වාර්තා ඉදිරිපත් කිරීමට උනන්දු වනවා.
රාජ්‍ය සේවයේ අවංක දක්ෂ නිලධාරීන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ටත් රාජ්‍ය සේවය පිරිසිදු කර ගැනීමට අවශ්‍යයි.

පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වන ස්වාධීන කොමිසන් සභා වගේම අනෙකුත් කාරක සභාත් ඔවුන්ට ශක්තියක් වෙයි. විශේෂයෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද හොඳ දක්ෂ නිලධාරීන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සමහර පත් කිරීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ ඔවුන්ට තමන් නායකත්වය දෙන ආයතන ඉදිරියට ගෙන යන්න අවශ්‍ය දැක්ම වගේම අවංක බව තිබෙනවාද කියන කාරණය තහවුරු කර ගැනීම මිස කිසිවෙකු පුද්ගලිකව අපහසුතාවය පත් කිරීම නොවේ.” විශේෂයෙන්ම කමිටු ක්‍රියාවලිය තුළ මහජන මුදල් ආරක්ෂා කිරීමේ විශේෂිතම වගකීම භාරව සිටින රාජ්‍ය ගිණුම් කාරක සභාව හා උසස් නිලතල පිළිබඳ කාරක සභා සභාපතිවරුන් දෙදෙනා හා නිලධාරීන් ප්‍රසංශනීය මෙහෙවරක් ඉටු කර ඇති බව ද කථානායකවරයා පැවසීය.

කමිටු සාමාජිකයන් මෙන්ම නිලධාරීන්ට කමිටු ක්‍රියාවලිය පිළිබඳ ලෝක අත්දැකීම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද කථානායකවරයා සඳහන් කළේය.

මෙහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසූයේ වසරකට දෙකකටවරක් ගිණුම් වාර්තා කැඳවීම මගින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන ක්‍රියාවලිය ශක්තිමත් නොවන බවත්, එවැනි අවස්ථාවල අදාළ නිලධාරීන් සේවයෙන් ඉවත්ව ගොස් ලිපිගොනු අතුරුදන්ව තිබෙනු දැකිය හැකි බවත්ය. නව තාක්ෂණික පහසුකම් යොදා ගැනීම තුල ශක්තිමත් යාවත්කාලීන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම හරහා කාරක සභා ක්‍රියාවලිය කාර්යක්ෂම වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.

කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ වර්තමානයේ ඕනෑම විටෙක කෝප් වාර්තා පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමට ඉඩකඩ විවෘත වීම කෝප් කමිටුව ලද ජයග්‍රහණයක් බවයි. කෝප් කියන්නේ වැරදි අඩුපාඩු හොයන කමිටුවක් නොවෙයි. අපි හොයන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂම බවයි ඵලදායී බවයි. ඒ හොයන විට වැරදි අහු වෙනවා. නමුත්, ඉතා කාර්යක්ෂම නිවැරදි ක්‍රියාදාමයක් සහිත ආයතන තිබෙනවා. අපගේ බල වපසරිය පිළිබඳ සංවාදයක් තිබෙනවා. කෝප් කමිටුවට හැකි වන්නේ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම පමණයි. අපේ වාර්තා අනුව ඉදිරියට යාම නිලධාරීන් සතු වගකීමක්. ගිණුම් කාරක සභාවක් තුළින් මහජන මුදල් භාවිතයේ විනිවදභාවය පිළිබඳ අත්දැකීම් මුල්වරට තමන් ලැබුවේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුව සිටියදී බවත් ඒ පූර්වාදර්ශය තමන්ට ලබා දුන් එවකට පුරපතිව සිටි වත්මන් කථානායක කරු ජයසූරිය මහතාට කෘතඥතාව පිරිනමන බවත්, පැවසූ හඳුන්නෙත්ති මහතා කෝප් කෝපා කාරක සභා දෙක නිසා පාර්ලිමේන්තුව කෙරේ ජනතා විශ්වාසය සහ ගෞරවය ගොඩ නැගෙනු ඇති බවද කීය.

– චමින්ද ගමගේ

28 views

One Comment to “කෝප්(Cope), කෝපා(Copa) රැස්වීම් සියළු මාධ්‍යයන්ට විවෘත කරනවා.”

  1. MI-15 says:

    Meka, dekatam nati, gon takatiruwek. Nodakin balla.

Main News