ගංජා ජාවාරමට එරෙහි වූ තිදරු පියාට ජාවාරම් කරුවන් පොලු මුගුරු වලින් අමානුෂිකව පහර දී රෝහලේ…

September 27, 2020 at 2:04 am | lanka C news
ගංජා ජාවාරමට එරෙහි වූ තිදරු පියාට ජාවාරම් කරුවන් පොලු මුගුරු වලින් අමානුෂිකව පහර දී රෝහලේ…

මදුරන්කුලිය කන්ද තොඩුවාව ප්‍රදේශයේ තිදරු පියෙකුට මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් අමානුෂික ලෙස පොලු මුගුරුවලින් පහර දීමෙන් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මදුරන්කුලිය කන්දතොඩුවාව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකු වූ සාගර සිල්වා නැමති අයෙකු බවයි.

පහර කෑමට ලක්වූ තැනැත්තා කන්දතොඩුවාව ගම්මානයේ නීති විරෝධි කේරළ ගංජා ජාවාරමක් පවත්වාගෙන යන පිරිසක් සම්බන්ධව පොලිසියට තොරතුරු ලබා දීමෙන් පසුව උරණවූ ජාවාරම් කරුවන් විසින් (24) වන දින රාත්‍රියේ අමාණුෂික ලෙස පොලු මුගුරු වලින් පහර දී ඇති බව කියයි.

මෙම පහරදීම සදහා අදාල ගංජා ජාවාරම සිදුකරන එකම පවුලේ සිව්දෙනෙකු සම්බන්ධ බව කියයි.

මෙම ජාවාරම්කරුවන් කලක පටන් මෙම ගංජා ජාවාරම කන්දතොඩුවාව ගම්මනායට පීඩාකාරි අයුරින් පවත්වාගෙන යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

මීට පෙර මෙම ජාවාරම්කරුවන් ගම්මානයේ ජනතාවට පීඩාවන ලෙස ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒ පිළිබදව අවස්ථා ගනණාවකදී පොලිසියට පැමිණිලි කර ඇති බවද ප්‍රදේශවාසීන් පවසයි.

දිගින් දිගටම මෙම ජාවාරම්කරුවන් සංවිධානාත්මක ලෙස තරුණ පිරිස ඉලක්ක කරගෙන අදාල ජාවාරම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගම්වැසියන් විරෝධය මතුකර ඇත බවද කියයි.

එම සිද්ධිය මුල්කර ගනිමින් (24) වන දින අදාල ජාවාරම්කරුවන්ගේ නිවසට ගංජා මිළදී ගැනීමට පැමිණි තරුණ පිරිසක් පිළිබදව පොලිසියට කල දැණුම් දීමට කෝප වී මෙසේ පහර දීම සිදුකර ඇති බව පැවසේ.

පහර කෑමට ලක්වූ සාගර සිල්වා මහතාගේ හිසට පොලු පහර දීමෙන් ඇතිවූ බරපතල තුවාල සමග ශරීරය පුරා තැලීම් හා තුවාල දක්නට ලැබෙන බව පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂක සුමිත් අත්තනායක මහතා කල විමසීමේදී පැවසීය.

අදාල පහර දීමට විරෝධය දක්වමින් කන්දතොඩුවාව ගම්මානයේ සීයකට අධික ගම්වාසීන් පිරිසක් අදාල ජාවාරම් කරුවන්ගේ නිවස ඉදිරිපිටදී (25) වන දින සවස දැඩි විරෝධතාවයක් මතු කරමින් පවසා සිටියේ මෙම ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා සිදුකරන පරික්ෂණ ප්‍රමාණවත් නොමැති බවයි.

මේ පිළිබදව කල විමසිමේදි උඩප්පුව පොලිසිය පවසා සිටියේ අදාල පහර දිමට සම්බන්ධ කාන්තාවක් අත් අඩංගුවට ගත් බවත් තවත් තිදෙනෙකු අත් අඩංගුවයට ගැනිමට පොලිස් නිළධාරින් යොදවා ඇති බවයි .

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

4,058 views
Main News