ගජමිතුරු හවුල්වාදය මහා ඡන්ද කොල්ලයක….

February 22, 2018 at 5:30 pm | lanka C news
ගජමිතුරු හවුල්වාදය මහා ඡන්ද කොල්ලයක….

ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හැරුණු විට අපේ රටේ ක්‍රීඩාවේ මහ ගෙදර වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවයි. 1996 සිට මේදක්වා ‍එනම් වසර 20ක් මෙම කමිටුවේ ආධිපත්‍ය දැරුවේ විවිධ වෙනස් වීම් යටතේ එකම කණ්ඩායමක් විසිනි. ගජමිතුරු හවුලක් වූ එම කණ්ඩායම පසුගිය වසර 20දී ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කළ මෙහෙවර, කැපවීම කුමක්දැයි අපි නොදනිමු. ඔවුන් සිදු කර ඇත්තේ ක්‍රීඩාවේ උන්නතිය පසකලා තම පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීමට ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරු නාම, සම්පත් සහ කීර්තිය අවභාවිත කිරීමයි. ක්‍රීඩාව අගාධයට යද්දී ක්‍රීඩාවෙන් බැබළීමයි. එහෙත් මේ මහා ව්‍යවසනයට තවදුරටත් ඉඩ දිය නොහැකිය. ක්‍රීඩාවේ නාමයෙන් ජාතික ඔලිම්පික් කමිටු පරිපාලනයෙහි සැබෑ වෙනසක් ඇති කළ යුතුව තිබේ. ඒ සඳහා මහඟු අවස්ථාව හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී අපට උදා වී ඇතැයිද අවධාරණය කරන්නෙමු.

මෙවර ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පැවැත්වෙන්නේ වසර 9කට පසුවය. ඒ නිලවරණ කල් දැමීමේ යුගය නිමා කරමිනි. එම නිලවරණයේදී ඡන්ද බලය හිමි සියලුම ජාතික සංගම් ස්වකීය ඡන්දය බුද්ධිමත්ව, රට ගැන හැඟීමෙන් භාවිත කරන්නේනම්, ජාතික ඔලිම්පික් කමිටුව වෙළා ගෙන සිටින ගජමිතුරු හවුල්වාදය පරාජය කිරීම අපහසු කරුණක් නොවේ. එබැවින් මෙවර නිලවරණයේදී ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව, අභිවෘර්ධිය පමණක් ඉලක්ක කර ඡන්දය භාවිත කරන ලෙසට සියලුම ජාතික සංගම්වලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කළ ගජමිතුරු හවුල ස්වකීය බලය ස්ථාපිත කර ගැනීමට නිරතුරුව භාවිත කළේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ රැකවරණයයි. “ජාතික ඔලිම්පික් කමිටුව රාජ්‍ය නොවන සංවිධානයක්, ලංකා‍වේ නීතියට යටත් නොවූනක්. අපි වැඩ කරන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විදියට..” යනාදි ලෙස මිත්‍යා වපුරමින් ඔවුහු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ස්වකීය මිතුරන්ගේද ආශිර්වාදයෙන් දිගින් දිගටම බලයේ සිටියහ. මෙවර නිලවරණයේදීද ඔවුන් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සිය මිතුරන්ගේද සහාය ඇතිව ඡන්ද මංකොල්ලයකට සැරසීමටය. ඒ අතුරු පාලක කමිටු දෙකකට ඡන්ද බලය ලබා දීමට සූක්ෂම ලෙස මැදිහත් වීමෙනි. අතුරු පාලක කමිටු යනු ක්‍රීඩා සංගම් පාලනය සඳහා තාවකාලිකව අමාත්‍යවරයා විසින් පත් කළ පරිපාලනමය ව්‍යුහයකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ පිරිසක් නොවේ. එසේ තිබියදීත් ක්‍රීඩා අමාත්‍යවරයාගේද උපදෙස් නොතකා බැඩ්මින්ටන් සහ හොකී අතුරු පාලක කමිටුවලට මෙවර නිලවරණයෙහි ඡන්ද බලය ලබා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මුවා වෙමින් ගජමිතුරු හවුල සූක්ෂමව කටයුතු කිරීම පිළිකුළෙන් යුතුව හෙළා දකින්නෙමු.

ජාතික ඔලිම්පික් කමිටුව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු බව ඇත්තකි. ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥ්ප්තියට ගරු කළ යුතු බව අපිද පිළිගන්නෙමු. එහෙත් රටේ ක්‍රීඩා නීතිය අනුව ස්ථාපිත කෙරුණු ජාතික ඔලිම්පික් කමිටුවට රටේ නීතියට පයින් ගැසිය නොහැකිය. කුමන ජාත්‍යන්තර ප්‍රඥ්ප්ති පිළිගත්තත් රටේ නීතිය උත්තරීතර වේ. එය ‍කුණු කූඩයට දමමින් ගජමිතුරු හවුල ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ස්වකීය හිතවතුන් ආශිර්වාදය ලබමින් කරන මේ කරන සෙල්ලම වහාම නතර කළ යුතු යැයි අපි ක්‍රීඩා අමාත්‍යවරයාට බල කරන්නෙමු. යම්කිසි විදියකින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද මේ මහා ඡන්ද කොල්ලයට සහාය දුනහොත් ඔවුන්ද හෙළුවෙන් රගන බව අපි අවධාරණය කරන්නෙමු.

සැබෑ ලෙසම අප ජාතික ඔලිම්පික් කමිටුවෙන් අපේක්ෂා කරන්නේ තරුපහේ රෙස්ටුරන්ට් සෑදීම නොවේ. තරුපහේ කායවර්ධන මධ්‍යස්ථාන සෑදීමවත් තරුපහේ ගොඩනැගිලි සෑදීමවත් නොවේ. ජාතික ඔලිම්පික් කමිටුවෙන් ජාතියම අපේක්ෂා කරන්නේ අපේ රටේ ක්‍රීඩාවේ දියුණුව උදෙසා ක්‍රමවත් වැඩපිළිවෙලකි. මනා කැපවීමෙකි. එමෙන්ම අපිට අවශ්‍ය වන්නේ දූෂණයෙන් පිරි ක්‍රීඩාවක් නොවේ. අපට අවශ්‍ය වන්නේ ක්‍රීඩාවට යමක් උපයා දෙන ක්‍රීඩා පරිපාලනයක් බවද අපි අවධාරණය කරන්නෙමු.

චින්තක ප්‍රනාන්දු
අධ්‍යක්ෂ
සේව් ද ස්පෝර්ට්ස්

14,653 Viewers
Main News