ගජමුතු විකුණන්න ආ අයෙකු ගජමුතුත් සමග අත්අඩංගුවට…

February 21, 2021 at 8:02 am | lanka C news
ගජමුතු විකුණන්න ආ අයෙකු ගජමුතුත් සමග අත්අඩංගුවට…

රුපියල් ලක්ෂ 8ක මුදලකට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ පුද්ගලයකු මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරන ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදාගනිමින් සැකකරුගෙන් ගජමුතු මිලදීගැනීමට යන මුවාවෙන් මෙම ගජමුතු ජාවාරම වටලා ඇත.

එහිදී ගජමුතු විකිණීම සඳහා සැකකරු පැමිණි මෝටර් රථයද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මහියංගනය ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හා ගජමුතු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,754 views

Leave a Comment

Main News