ගම්මිරිස් මිල අඩුවුණේ රජයේ දිරිගැන්වීම් නිසා නිෂ්පාදනය වැඩිවීමෙන්… කිලෝවට 900ක සහතික මිලක්..
July 18, 2017 at 12:40 pm | lanka C news
දේශීය ගම්මිරිස් සඳහා සහතික මිලක් නියම කොට රජය හරහා මිල දී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.
තම අමාත්‍යංශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව කියා සිටියේය.
ඒ අනුව, අපනයන ප්‍රමිතියේ ගම්මිරිස් (ලීටර් බර 550) කිලෝවක් සඳහා රු. 900ක සහතික මිලක් ලබා දෙන බවත්, ලීටර් බර 525, ලීටර් බර 500 සහ ලීටර් බර 480 ප්‍රමිති සඳහා පිළිවෙලින් රු. 800, රු. 750 සහ රු. 700 බැගින් මිල නියම කරන බවත් ඇමතිවරයා ඔවුන්ට දන්වා සිටියේය.
එක් ගොවියෙකුගෙන් උපරිමව කිලෝ 200 බැගින් ටොන් 5,000ක් මිල දී ගැනීම සඳහා රත්නපුර, මාතලේ, මොණරාගල, හම්බන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කවල මිල දී ගැනීමේ මධ්‍යස්ථාන 22ක් ස්ථාපිත කරන බවද හෙතෙම කීය.
අදාළ ගෙවීම් ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා ගොවීන්ට කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව ගමගේ මහතා පැවසීය.
ලෝක ගම්මිරිස් නිෂ්පාදනයෙන් සියයට පහක් පමණක් මෙරටින් ලැබෙන බවත්, ඉන් සියයට 60ක්ම ඉන්දියාවට අපනයනය කරන බවත් පවසමින් ඔහු පෙන්වා දුන්නේ, තම අමාත්‍යංශයේ දිරිගැන්වීම් නිසා දේශීය නිෂ්පාදනය ඉහළ යෑමෙන් මිල පහත වැටීමක් සිදුව ඇති බවයි.
– ජෝර්ජ් ද සිල්වා