ගම්මිරිස් රටින් ගෙන්වන බව ඇමති පිලිගනී.. සහතික මිලක් දෙසතියකින් දෙන බවත් කියයි..

July 15, 2017 at 6:33 am | lanka C news
ගම්මිරිස් රටින් ගෙන්වන බව ඇමති පිලිගනී.. සහතික මිලක් දෙසතියකින් දෙන බවත් කියයි..

සති දෙකක කාලයකදී ගම්මිරිස් සඳහා සහතික මිලක් හඳුන්වා දී රජය හරහා මිල දී ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඒ බව නිවේදනය කළේය.

ගම්මිරිස් මිල පහත වැටී ඇති බව පවසමින් ඇඹිලිපිටිය පල්ලෙබැද්ද ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් විරෝධතාවක් පැවැත්වීය.

ගොවීන්ට අසාධාරණයක් සිදු වීමට ඉඩ නොතබන බවට සහතික වූ ඇමතිවරයා, විපක්ෂය ජනතාව නොමඟ යවමින් එවැනි උද්ඝෝෂණ සඳහා ඔවුන් පොළඹවා ගන්නා බව පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ එක් සමාගමක් වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කරන්නේ එහි අගය දාමය වැඩි කොට අපනයනය කිරීමට පමණක් බවයි.

එම සමාගම ගම්මිරිස් ටොන් 500ක් ගෙන්වා, මෙතෙක් ඉන් ටොන් 220ක් අගය දාමය වැඩි කොට අපනයනය කර ඇති බවත්, ආනයනික ගම්මිරිස් මෙරට වෙළෙඳපොලට නිකුත් නොකරන බවත් ඔහු අවධාරණය කර පවසා සිටියේය.

ගම්මිරිස් වගාව ප්‍රචලිත කිරීම සඳහා තම අමාත්‍යංශය යටතේ සාර්ථකව පියවර ගෙන ඇති බවත්, ඒවායේ ප්‍රතිඵල ලෙසින් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත් ගමගේ මහතා කීය.

ඉදිරියේදී, ගම්මිරිස් වෙළෙඳපොල පිළිබඳව ගොවීන්ට නිතිපතා අවබෝධයක් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

– ජෝර්ජ් ද සිල්වා

153 views
Main News