ගමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය ප්‍රජා කමිටුවේ අනුමැතිය අනිවාර්යයි….

December 24, 2019 at 2:07 am | lanka C news
ගමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය ප්‍රජා කමිටුවේ අනුමැතිය අනිවාර්යයි….

ගමේ සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දිය යුතු සංවර්ධන යෝජනා ග්‍රාමීය ප්‍රජා කමිටුවක් මගින් තීරණය  කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, ජනාධිපතිතුමාගේ මෙම නව වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සියළුම ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න පවසයි. ඒ මහතා මෙම අදහස් පළකලේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සපිරි ගමක් වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය සංවර්ධනය තුළින් ප්‍රාදේශීය විෂමතා අවම කිරීමට අපේක්ෂිතයි.ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ සපිරි ගමක් වැඩසටහනයි.මේ වැඩසටහන මගින් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක් ලබා දේ.ඒ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ක් සඳහා රුපියල් මිලියන 28,048 ක මුදලක් වෙන්කෙරේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,ගමත් නගරයත් එක හා සමානව සංවර්ධනය කිරීම තුළින් විෂමතාවය අවම කිරීමට තමයි රජය මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.සපිරි ගමක් වැඩසටහනෙදි ගමට අවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති මොනවද කියලා හඳුනාගන්නේ ග්‍රාමීය ප්‍රජා මූල කමිටුවක් මගින්.මේ කමිටුවට ප්‍රාදේශීය දේශපාලඥයන්,ලියාපදිංචි සංවිධානවල ප්‍රජාමූල නායකයින්,ගමේ විදුහල්පති වැනි පිලිගත් නායකයින් වගේම, ගමේ රාජ්‍ය නිලධාරීන් වන ග්‍රාම ්නිලධාරියා,සමෘද්ධි නිලධාරියා,සංවර්ධන නිලදාරියා වැනි අය ඇතුලත් වෙනවා. ඔවුන් සියළු දෙනා එකතුවෙලා සාකච්ඡා කරලා ගමේ සංවර්ධනය වෙනුවෙන් වෙන්කර තිබෙන ප්‍රතිපාදන වලින් වඩාත්ම අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ප්‍රාදේශීය ලේකම්ට දැන්වීම තමයි සිදු කළ යුත්තේ.ප්‍රාදේශීය දේශපාලඥයන් තනිව සංවර්ධන යෝජනා තීරණය කිරීමට වඩා ගමේ සියළු දෙනාටම පිළිගත හැකි එකඟවිය හැකි සංවර්ධන ව්‍යපෘති මේ තුළින් ගමට ලැබෙනවා.ඒක නිසා රටක් ඉදිරියට යාමට මෙවැනි යෝජනා වඩාත් ප්‍රායෝගිකයි.අමාත්‍යවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින්,සංවර්ධන ව්‍යාපෘති තෝරා ගැනීමේදී 2020 වර්ෂය තුළ අවසන් කළ හැකි ව්‍යාපෘති තෝරන්න.ඒ වගේම ඉඩම් සම්බන්ව නෛතික ගැටළු ඇතිවන ව්‍යාපෘති වලට යන්න එපා.  වනජීවී හෝ වන සංරක්ෂක වැනි ආයතන වලින් අවසර ගැනීමට වැඩි කාලයක් යන ව්‍යාපෘති තෝරා ගැනීමත් සුදුසු නෑ.ව්‍යාපෘතියක අවම ඇස්තමේන්තුව ලක්ෂ 5යි.උපරිමය ලක්ෂ 20යි.මේ වැඩසටහන යටතේ ග්‍රාම නිලධාරී වසම් 4ක් එක්ව ගමකට යන ප්‍රධාන පාරක් හදන්නත් පුළුවන්.වැවක් හදන්න පුළුවන්.එතකොට එම කොට්ඨාශ 4 ම ප්‍රජා කමිටුවල එකඟතාවය ලබා ගත යුතුයි.

මේ වැඩසටහන නව රජයේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් වැඩසටහනක්.එම නිසා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව දැනටමත් දිස්ත්‍රික් ලේකම්වරු ,ප්‍රාදේශීය ලේකම්වරු චක්‍රලේඛ මගින් දැනුවත් කර තිබෙනවා.මහජන නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා.රාජ්‍ය යාන්ත්‍රණය මේ වැඩසටහනට කාර්යක්ෂමව දායක විය යුතුයි.සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද,පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් ප්‍රේමරත්න, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් බී.එස්.ජේ. රුවන්සිරි,ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධික දියගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියහ.

– ධම්මික තිලකරත්න

2,001 Viewers
Main News