ගාල්ලට ගං වතුර.. ගම්මාන 20ක පවුල් 600ක් විපතේ..

May 10, 2018 at 8:02 am | lanka C news
ගාල්ලට ගං වතුර.. ගම්මාන 20ක පවුල් 600ක් විපතේ..

බළපිටිය ප්‍රදේශයට ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 09 සවස වන විට බළපිටියේ ග්‍රාමසේවා වසම් 13 කට අයත් ගම්මාන විස්සකට (20) ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබේ.

මේ නිසාම පවුල් 600 කට ආසන්න ප්‍රමාණයකට අයත් දහසකට (1000) අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. දක්වා ඇද හැලුණ අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ගම්මාන හා නිවාස ජලයෙන් යට වී තිබේ.

බළපිටිය, මිගෙට්ටුවත්ත, වැලිතර, ඇලතොට, පාතමුල්ල, වදදූව, වැල්ලබඩ, වතුරේගම, මාකුඹුර, මිද්දරමුල්ල, අහුන්ගල්ල, ගල්වෙහෙර සහ දූවේමෝදර යන ග්‍රාමසේවාවසම් වලට අයත් ගම්මාන පූර්ණ වශයෙන් හා අර්ධ වශයෙන් මෙසේ ජලයෙන් යට වී තිබේ. බළපිටිය මාදු ගග ආසන්නයේ පිහිටි පහත් බිම් වලින් යුත් ගම්මාන සහ අහුන්ගල්ල හා කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි පහත් බිම් වලින් යුත් ගම්මාන කීපයක් මෙසේ ජලයෙන් යට වී ඇත.

මෙයින් විශාලතම හානිය සිදු වී ඇත්තේ පාතමුල්ල, ඕවිලාන, මාකුඹුර හා දූවේමෝදර හා ඒ අවට ගම්මානයන්ටය. මෙම ප්‍රදේශයන්හි ඇතැම් නිවාස අඩි 01 ක් 03 ක් පමණ ප්‍රමාණයන්ගෙන් ජලයෙන් යට වී තිබුණි. ඕවිලාන, මාදුගග ආසන්නයේම පිහිටි ගම්මානයකි. අන්න දුප්පත් ජනතාවක් වෙසෙන මෙම ප්‍රදේශය සෑම වර්ෂාවකදීම පාහේ ජලයෙන් යටවේ. මාදු ගගේ මෝය කටේ වැලි හිර වීම හේතුවෙන් ජලය හරිහැටි බැස නොයෑමද මේ තත්ත්වය ඇති වීමට හේතු වී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

ගම්මාන වලට පිවිසෙන මාර්ගද බොහොමයක් ජලයෙන් යටවී ඇත. මේ නිසාම ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට එන පිරිස් වලටද බාධා ඇති වී තිබේ. මාදුගග අවට ගම්මාන වල, මාදුගගට ජලය බැස යන කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් හා මාකුඹුර, මිද්දරමුල්ල, වතුරේගම ආදී ප්‍රදේශයන්හි මුහුදට ජලය බැස යන කානු පද්ධතිය අවහිර වීමෙන් ජලය බැස නොයෑම නිසා මෙසේ ගම්මාන යටවී තිබෙන බව මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී තහවුරු කර ගැනීමට හැකි විය. ගම්වැසියන් බොහොමයක් සිය වැට මායිම් හා තාප්ප කාණු වැසී යන අයුරින් ඉදි කිරීමද මෙයට එක් හේතුවක් වී තිබේ. නිසි පරිදි කාණු පද්ධතිය නඩත්තු නොකීරීමද මෙම තත්ත්වයට බෙහෙවින් බල පා ඇත.

මේ සම්බන්ධයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්. සමන් ද සිල්වා මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මම මේ වන විටත් සිටින්නේ ජලයෙන් යට වූ අහුන්ගල්ල, මාකුඹුර ප්‍රදේශයේයි. අද උදෑසන සිටම මම, මගේ මන්ත්‍රී කණ්ඩායමත් සමග ජලයෙන් යට වූ ප්‍රදේශ වලට යමින් ඒ පිළිබදව සොයා බලමින් අවශ්‍ය පිළියම් යොදමින් සිටිනවා. මාදු ගගේ මෝය කපල තිබෙන්නේ. එයින් ජලය බැස යනවා.

ඇතැම් ප්‍රදේශ වල මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග වලට යොදන ලද බෝක්කු, ප්‍රාදේශීය සභාවේ පාරවල් වලට යොදන ලද බෝක්කු වලට වඩා උසයි. එවන් ස්ථාන රාශියක් තිබෙනවා. දිගුකාලීන වැඩ පිළිවෙලක් ලෙස එය නිවැරදි කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා. දැනට බැකෝ යන්ත්‍ර යොදවා ජලයෙන් යට වූ සියළු ප්‍රදේශයන්හි කාණු පද්ධතිය සුද්ධ පවිත්‍ර කරනවා. ජලයෙන් යට වූ නිවාස වල ජනතාවට ඉහුම් පිහුම් කටයුතු කරන්න අමාරු නිසා පිසූ ආහාර ලබා දෙනවා. මම මේ සම්බන්ධයෙන් බළපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියත් සමගත් කතා කළා. කිසි ගැටළුවක් නැහැ, ජලය බැස්සවීමටත්, හානියට පත් ජනතාව රැක බලාගැනීමත් සදහා සාර්ථක වැඩ පිළිවෙලක් දියත් කරනවා.

– ජයකාන්ත ලියනගේ

349 views

2 Comments to “ගාල්ලට ගං වතුර.. ගම්මාන 20ක පවුල් 600ක් විපතේ..”

  1. Nalaka says:

    සජිත්ට කියන්න…නිධන් වලවල් කපා ගංවතුර බස්සාවි…

  2. SUNIMAL says:

    පාලකයා හොදනම් මෙවෙනි දේවල් රටට ඇතිවෙන්නේ නැහැ පාලකයා පන්නා දැමිය යුතුය

Main News