ගිනිපෙට්ටි කම්හල් දෙකක් හා යකඩ කම්හලක් වටලයි…

March 12, 2017 at 5:30 pm | lanka C news
ගිනිපෙට්ටි කම්හල් දෙකක් හා යකඩ කම්හලක් වටලයි…

ප්‍රමිති සහිතකය ලබා තිබුණ ද නිසි ප්‍රමිතියෙන් තොරව යකඩ කම්බි නිෂ්පාදනය කළ ගම්පහ කර්මාන්තශාලාවකට හා යකඩ අළෙවි සළකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගම්පහ කර්මාන්තශාලාවේ තිබී ටොන් අටක් බරැති ප්‍රමිතියෙන් තොර යකඩ කූරු තොගයක් අත් අඩංගුවට ගෙන ඇති අතර යකඩ කම්බි අළෙවි සැලේ තිබී ටොන් පහක් බරැති ප්‍රමිතියෙන් තොර යකඩ කූරු තොගයක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම යකඩ තොගයේ තොග වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වේ.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව යකඩ කූරු නිෂ්පාදනයේ දී ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් එස්.එල්.එස්. සහතිකය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ගම්පහ යකඩ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර තිබූ යකඩ කම්බි හා අළෙවි සැළක අළෙවි කිරීමට තිබූ යකඩ කම්බිවල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කළ එස්.එල්.එස්. සහතිකය තිබුණ ද යකඩ කූරු ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර තිබූ බවයි.

ප්‍රමිති සහතිකය අනුව යකඩ කූරක නිශ්චිත බරක් තිබිය යුතුය. ඒ අනුව ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු ගණන නියතයක් බව ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි. මෙම කර්මාන්ත ශාලාවේ සහ අළෙවි සැලේ යකඩ කූරු ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු ගණන කිරා බැලූ විට එහි බර ටොන් එකක් නොවූ බවත් ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු සංඛ්‍යාවට වඩා වැඩිපුර යකඩ කූරු සංඛ්‍යාවක් අඩංගුවන බවත් ඔවුහු කියති.

ඒ අනුව යකඩ කූරු තොග වලින් මීටරය බැගින් දිගැති කම්බි නියැදි කිහිපයක් ගෙන පරීක්ෂණ කටයුතු සඳහා යවා යකඩ කූරු තොග මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර යකඩ කූරු නිෂ්පාදනය කළ ආයතනයට හා අළෙවි සැළට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කළ රුපියල් ලක්ෂ 95ට වඩා වටිනා ගිනිපෙට්ටි තොගයක් මහනුවර ස්ථාන දෙකකින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 (1) වගන්තියට අනුව 2012 ජනවාරි මස 27 වැනි දින නිකුත් කළ අංක 1742/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ගිනි පෙට්ටි නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන එස්.එල්.එස්. සහතිකය ලබා තිබීම අනිවාර්ය වේ.

පේරාදෙණිය අලදෙණියේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැති ගිනිපෙට්ටි 720 බැගින් වූ ඇසුරුම් 2000ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී ගිනිපෙට්ටි සංඛ්‍යාව 1,440,000කි. පාරිභෝගික අධිකාරිය පවසන්නේ එහි වෙළෙඳ වටිනාකම රුපියල් 8,640,000ක් බවයි.

මහනුවර පල්ලෙකැලේ ගිනි පෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැතිව නිෂ්පාදනය කළ ගිනිපෙට්ටි 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් 900,000කි.

අලදෙණියේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාව වෙළෙඳ නාම කිහිපයක් යටතේ ගිනිපෙට්ටි නිෂ්පාදනය කර ඇති බවත් ඇතැම් ගිනිපෙට්ටිවලට එස්.එල්.එස් සහතිකය තිබූ බැවින් එස්.එල්.එස් සහතිකය නොමැති ගිනිපෙට්ටි තොගය මුද්‍රා තැබූ බවත් පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව භාණ්ඩ රැසකට තිබිය යුතු ප්‍රමිතීන් පිළිබඳ පැහැදිලිව දක්වා ඇති බවයි. එලෙස ප්‍රමිතීන් පවත්වාගෙන යා යුතුව තිබිය දී ඒවා ගැන සැළකිලිමත් නොවී නිෂ්පාදන සිදුකරන, බෙදාහරින හා අළෙවිකරන ස්ථානවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්ක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ කීය.

‘‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා මෙරට සිදුකරන නිෂ්පාදන සඳහා ප්‍රමිතියක් තිබිය යුතු දේවල් ගැන. ඇතැම් නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් ප්‍රමිති සහතිකය අරගන්නවා. නමුත් පස්සේ මේ ප්‍රමිති සහතිකය භාවිතා කළත් ප්‍රමිතියකින් යුතුව නිෂ්පදානය හා අළෙවිය කරන්නේ නැහැ. අපි මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් එවැනි ස්ථාන ගැන පරීක්ෂා කරලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. ඉදිරියේ දී තවත් මෙවැනි ස්ථාන සොයාබලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි මා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමාටත්, එහි නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙනවා.

නිෂ්පාදනයක් සිදුකරද්දී ප්‍රමිතිය පිළිබඳ නීතියක් පනවා තිබෙන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව හා අයිතිය පිළිබඳ සැළකිලිමත් වීමට. නමුත් ඇතැම් නිෂ්පාදකයන් ලාභය පමණක් ම අරමුණු කරගෙන මෙලෙස ක්‍රියාකිරීම බරපතල වරදක්. මා පාරිභෝගික අධිකාරියේ සියලු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මේ වගේ ස්ථාන ගැන සොයා බලා වැටලීම් සිදුකර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියා. පාරිභෝගිකයා වෙනුවෙන් අපි මේ පියවර ගන්නවා. “

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ මහනුවර ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා දෙකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

සජීව විජේවීර

76 views
Main News