ගිනි අවි කොටස් හා උණ්ඩ තොගයක් අත්අඩංගුවේ..
April 1, 2019 at 2:04 am | lanka C news
ඇල්පිටිය, නවදගල ප්රදේශයේ ටී – 56 උණ්ඩ 09 ක්, එල් එම් ජී උණ්ඩ 01 ක් ඇතුළු ගිනිඅවියක කොටස් කීපයක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තලාවපාර, අගුළුගල්ල, නවදගල ලිපිනයේ පදිංචි හපුතන්ත්රි කංකානම්ගේ සම්පත් (37) නැමැති අයයි.
ඇල්පිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් මහතාට ලැබුණ තොරතුරකට අනුව ඇල්පිටිය, නවදගල මාර්ගයේදී සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී පතුරම් හා ගිනිඅවි කොටස් සොයාගෙන තිබේ. පතුරම් වලට අමතරව යකඩෙන් තනන ලද තුවක්කු බටයක් හා පතුරම් 05 ක් ගබඩා කලහැකි සිලින්ඩරාකාර කොටසක්ද සැකකරු සන්තයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරු හෙරොයින් වලට තදින් ඇබ්බැහි වූවෙකු බව ප්රකාශ කරන ඇල්පිටිය පොලිසිය, ගිනිඅවි කොටස් හා පතුරම් ඔහුට ලැබී ඇත්තේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද කියයි. මෙම ගිනිඅවි කොටස් හා පතුරම් විකිනීම සදහා කිසියම් අයෙකු මොහුට ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් හා මේවා සොරකම් කර විකිණීම සදහා රැගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද ඇල්පිටිය පොලීසියේ ප්රකාශකයෙක් සදහන් කළේය.
– ජයකාන්ත ලියනගේ