ගුණපාල වික්‍රමරත්න දැයෙන් සමු ගනී…

August 6, 2018 at 2:06 am | lanka C news
ගුණපාල වික්‍රමරත්න  දැයෙන් සමු ගනී…

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු සහ විශිෂ්ඨ ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වූ හිටපු විභාග කොමසාරිස් ගුණපාල වික්‍රමරත්න මහතා අගෝස්තු 3වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මාතර පාතේගමදී 1926 මැයි 19 උපන් වික්‍රමරත්න මහතා මාතර රාහුල සහ ගාල්ල මහින්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය(1960-64) සහ කොළඹ නාලන්දා විදුහලේ(1964-69) විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ගුණපාල වික්‍රමරත්න අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කරමින් එහි ප්‍රථම අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස්වරයාද විය.

හෙතෙම හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් සහ අධ්‍යාපන සේවා කමිටුවේ සභාපතිවරයෙක්ද වේ. කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු ආචාරිනී විනීතා වික්‍රමරත්න ගේ සැමියා වූ ඔහු පස්දරු පියෙකු වන අතර කණිටු පුත්‍රයා වනුයේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නය.

ගුණපාල වික්‍රමරත්න මහතා ගේ ආදාහන කටයුතු අගෝස්තු 8 බදාදා පස්වරු 5ට බොරැල්ල කනත්තේදී සිදුකරන අතර එතෙක් දේහය පිටකෝට්ටේ, රුක්මල් පෙදෙසේ 434/3 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ.

එම නිවසින් දේහය බදාදා දහවල් 12ට රැගෙන ගොස් කොළඹ නාලන්දා විද්‍යාලයේ තැන්පත් කර එහි ගුරු දෙගුරුන්, ආදි සිසුන් සහ වර්තමාන සිසුන් ගේ අවසන් ගෞරවය සඳහා පස්වරු 4 තෙක් තබනු ඇත. අගෝස්තු 8 පස්වරු 4ට දේහය අවසන් කටයුුතු සඳහා බොරැල්ල සුසාන භූමියට රැගෙන යෑමට නියමිතය.

මාතර රාහුල විදුහලෙන් 1945දී සරසවියට තේරුණු ප්‍රථම සිසුන් තිදෙනාගේ කණ්ඩායමට ඇතුළත් වූ වික්‍රමරත්න පසුව එහි ගුරුවරයෙකු මෙන්ම උප විදුහල්පතිවරයෙකුද විය. පසුව 1956දී අධ්‍යාපන පශ්චාත් උපාධිය ලබා ගත්තේය. එමෙන්ම යාපනය, ගාල්ල, හලාවත ඇතුළු පළාත් ගණනාවක අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ඔහු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව දශක 2කට අධික කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශවල උපදේශකවරයෙක් වශයෙන්ද රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සාමාජිකයෙකු වශයෙන්ද සේවය කළේය.

කුලියාපිටිය කණිෂ්ඨ විශ්ව විද්‍යාලයේ සමාරම්භක විදුහල්පති, කොළඹ සෞන්දර්ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක, ගාල්ල සහ මරදාන තාක්ෂණික විදුහලේ විදුහල්පති ඇතුළු ස්ථාන ගණනාවක ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ගුණපාල වික්‍රමරත්න සිය වෘත්තීය අත්දැකීම් අළලා ග්‍රන්ථයක්ද සම්පාදනය කරමින් සිටියේය. කොළඹින් බැහැරව පාසැලක ආදි ශිෂ්‍යයින් විසින් කොළඹදී පිහිටුවා ගන්නා ලද පළමු ආදි ශිෂ්‍ය සංගම් ශාඛාව වූ 1962 නොවැම්බර් 11 පිහිටුවන ලද මාතර රාහුල විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සමාරම්භකයා වුයේද ගුණපාල වික්‍රමරත්න මහතාය. ආදාහන කටයුතු පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 071-2733986 මගින් විමසිය හැකිය.

– ධර්මන් වික්‍රමරත්න

188 views
Main News