ගුරුකන්ද රජමහා විහාරයේ නඩු තීන්දුව දීමට එක්පාර්ශවයක් පෙනී නොසිටී…

March 30, 2019 at 2:09 am | lanka C news
ගුරුකන්ද රජමහා විහාරයේ නඩු තීන්දුව දීමට එක්පාර්ශවයක් පෙනී නොසිටී…

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුවේ තීන්දුව 28 දින ලබා දීමට තිබුනද එක් පාර්ශවයයක් පෙනී නොසිටීම හේතුවෙන් ලබන අප්‍රේල් මස 22 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා නියෝග කොට සිටියේය.

අදාල නඩුවේ එක් පාර්ශවයක් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමියන්ට අසනීප තත්වයක් හේතුවෙන් රෝහලගත වී ප්‍රතිකාර ලබන හෙයින් නඩු වාරයට පෙනී සිටීමට නොහැකි බවට මුලතිව් මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දීමෙන් පසුව මහෙස්ත්‍රාත් වරයා විසින් නඩු තීන්දුව ලබා දීම අප්‍රේල් 22 වනදාට කල් දැමීමට නියෝග කොට සිටියේය.

පෙබරවාරී 12 වනදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් වාර්ථාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටමින් අදාල වාර්ථාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මලුතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරා විද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින් ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාර්ක සහිත ප්‍රදේශයක් වන බවටත්ය.

කෙසේ වෙතත් මේ වන විට මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩුව හා පුරා විද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්ථාව දෙවන නඩුව වෙයි.

පසුගිය ජනවාරී 14 වනදා ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියට අනවසරයෙන් පිරිසක් ඇතුල් වී මුල් ගලක් තැබීමකට සැරසීම නිසා ඇති වූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් අදාල නඩු ගොනු කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

199 views
Main News