ගුවන්සේවා අධිකාරියේ සේවක මර්දනයක්.. නිදහස් සේවක සංගමය ජනපතිට ලියයි…

March 14, 2017 at 7:05 am | lanka C news
ගුවන්සේවා අධිකාරියේ සේවක මර්දනයක්.. නිදහස් සේවක සංගමය ජනපතිට ලියයි…

සිදුවෙමින් පවතින සේවක මර්ධනය සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා අධිකාරී නිදහස් සේවක සංගමයේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

දීර්ඝ කාලයක සිට සිවිල් ගුවන්සේවා අධිකාරියේ සිදුවන බරපතළ දූෂණ වංචා වලට අදාළව සාක්ෂි වසන් කිරීමේ අරමුණින් සිදුවන සේවක මර්දනය

අතිගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය ශ්‍රී ලංකාවේ පවතින අර්ධ රාජ්‍ය ආයතන හා සසඳා බැලීමේදී විශාල ලාභයක් උපයන මෙන්ම රටේ සිවිල් ගුවන්සේවාව සම්බන්ධව නියාමන කටයුතු සිදුකරනු ලබන එකම රාජ්‍ය ආයතනය වේ.

මෙම ආයතනය එවක පැවති ගුවන්සේවා දෙපාර්තමේන්තුව 2002 අංක 34 දරන පනත මගින් අධිකාරියක් බවට පත්කරනු ලැබුවද එදා සිට වර්තමානය දක්වාම (වසර 16) එහි අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු හොබවන්නේ එච් එම් සී නිමල්සිරි මහතා විසිනි.

පසුගිය රජයේ සිටම මෙම ආයතනය මගින් සිදුකරන බරපතළ ගණයේ වංචා හා දූෂණ හා රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව අප සංගමය විවිධ අවස්ථාවන්වලදී එවක සිටි ජනාධිපතිවරයා සහ සහ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළද ඉන් කිසිදු යහපත් ප්‍රතිඵලයක් අත් නොවුණු බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමු. එමෙන්ම රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින්ද මෙම ආයතනය දූෂණ වංචා ඉහවහා ගිය ආයතනයක් ලෙස සාක්ෂි සහිතව පෙන්වා දෙමින් විශාල ප්‍රමාණයෙන් විගණන විමසුම් ප්‍රමාණයක් එවා ඇති අතර එම දෙපාර්තමේන්තුව නොමග යවන ලද අවස්ථා ගණනාවක් අප විසින් ආයතන සේවකයින් ලෙස දුටුවෙමු. පසුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් මෙම ආයතනය තුළ ස්ථාපනය කරනු ලබන්නේ මෙම තත්වය යම්තාක් දුරට හෝ පාලනය කිරීමේ අරමුණ ඇතිවය.

පසුගිය කාලයේ විවිධ පුවත්පත් සහ වෙබ් අඩවි මගින් මෙම ආයතනයේ දූෂණ අක්‍රමිකතා හෙළිවීමත් සමගම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ජනාධිපති විමර්ශන ඒකකය මගින් පරීක්ෂණ ආරම්භ කරනලදි.

මෙම සිදුවීම් හේතුවෙන් කලබලයට පත් ආයතන පරිපාලනය තම දූෂණ අක්‍රමිකතා හා අදාළ සාක්ෂි එම අංශ සතුවේ යැයි බියෙන් සේවකයන් මර්දනය කිරීම හා බිය ගැන්වීම සඳහා පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ප්‍රශ්න කිරීම් හා විවිධ පරික්ෂණ සිදුකරයි. එයට මෑතකාලීන නිදසුන ලෙස පසුගිය මාර්තු 08දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ආයතන පරිශ්‍රයට ඇතුළුවී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ලේකම්, ක්‍රියාකාරී සංවිධයක ඇතුළු නිලධාරීන් 08 දෙනකුගේ පරිගණක පරීක්ෂා කර වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා රැගෙන යන ලදි.

ඔබතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් යහපාලන රජය පත්කර ගැනීමේදී බලාපොරොත්තු වූ යහපාලනය උදාකිරීම සඳහා ඇප කැප වී කටයුතු කර, සිදුවන බරපතළ වංචා හා දූෂණ හෙළිදරවු කිරීමට කටයුතු කරන ලද මෙම සේවකයින්ගේ රැකියා අහිමි කිරීම සඳහා සිදුකරනු ලබන ප්‍රයත්නය පරාජය කිරීම සඳහා මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම ඔබතුමාගේ සෘජු මැදිහත්වීමෙන් මෙම ආයතනයේ සිදුවන මහා මූල්‍ය අපරාධ නවතා දමා රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

කැලුම් කොඩිතුවක්කු
සභාපති
නිදහස් සේවක සංගමය
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය

4 views
Main News