ගොවීන්ට වගාවට ජලය නෑ…

May 29, 2020 at 2:02 am | lanka C news
ගොවීන්ට වගාවට ජලය නෑ…

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,නාගදීප ගොවිජනපද ව්‍යාපාරයට අයත් අරාවත්ත සඟබෝපුර යාය 09,ඩී/2,බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ගොවීන් එකසිය දෙදෙනකු(102)හට සිය ගොවිතැන් කටයුතු සඳහා ජලය නොමැති කමින් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

මෙවර යළ කන්නය ආරම්භ කිරීමට පෙර , පෙර කන්න රැස්වීමක් පසුගිය මාර්තු මස 20වැනි දින ව්‍යාපාර කාර්යාලයේදී පැවැත්වූ අතර ඊට නාගදීප ව්‍යාපාරයට සම්බන්ධ ගොවි සංවිධාන 21 හිම නියෝජිතයින් සහභාගීවූ බව ගොවීන් පවසති.එම රැස්වීමේදී මෙවර වගා කටයුතු ආරම්භ කිරීම සඳහා නාගදීප වැවේ ජලය ප්‍රමාණවත් නොවන අතර ව්‍යාපාරයේ සියළු ඉඩම් වලට වගා වන් සඳහා ජලය නිකුත් කළ නොහැකි බව දන්වා ඇත.එමෙන්ම රැස්වීම පැවැති දින අනුව වැවේ ජලය වගාවන්ගෙන් 50%ක්සඳහා ඇතිවන බව වාරිමාර්ගඉංජිනේරුවරිය පවසා ඇත. එහෙයින් අතිරේක භෝග වගාවල නිරත වන ලෙස බළධාරීන් දී ඇති උපදෙස් අනුව ගොවීන් වගාවන් ආරම්භ කර ඇත. අප්‍රෙල් මස 25 වෙනිදින වගාවන්ට ජලය නිකුත් කර ඇත.කෙසේ වෙතත් නාගදීප වැව අසළ වගා කටයුතු ආරම්භ කර ඇත. යාය 9 යනු නාගදීප ව්‍යාපාරයේ කෙළවරටම ඇති වගා බිම්(අගාවතයි) කොටසයි.

පෙර කන්න රැස්වීමේදි අපට වතුර දෙන්න බැරි නිසා වගා කරන්න එපා කිව්වා.කොහොම වුනත් රැස්වීමෙන් පස්සෙ වැස්සා ඒ වතුරෙන් වැව පිරුණා.වැවේ වතුර අඩි තිස් එකක් දක්වා පිරුණා. අපි වාරි කළමණාකරණ කාර්යාලයෙන් අපට වගා කරන්න අවසර ඉල්ලුවා.එතකොට අපට ගොඩ භෝග වගා කරන්න වතුර දෙන්නම් කීවා.අක්කරයකට අවශ්‍ය මුං ඇට,කව්පි,රටකජු ඇට අපට නොමිළයේම වගා කරන්න කියලා දුන්නා.අපි වගාවට බිම හැදුවා ඇටත් හිටෙව්වා.දැන් දවස් ගාණක් වෙනවා ඇට පැළවෙන්න වතුර බිංදුවක්වත් තවම දීලා නෑ. මැයි 12 වෙනිදා තිබ්බ කමිටු රැස්වීමේදී ගොඩ භෝග වගාවට වතුර දෙන්න පුළුවන් කියලා ඉංජිනේරුතුමිය පොරොන්දු වුනා.ඒ නිසයි අපි වැඩ පටන් ගත්තේ.වැවේ වතුර තියා අහසින් වත් වතුර බිංදුවක් වැටෙන පාටක් නම් පේන්න නැතැයි ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්.එම්.රංජනී කුමාරි මහත්මිය පැවසුවාය.

වාරි මාර්ගෙ අය කරන්නෙත් බොරු.කෙත් ඇළ,බෙදුම් ඇළවල් නඩත්තුව ගොවි සංවිධාන වලට පවරලා තියෙන්නේ නඩත්තු වියදම් ගොවි සංවිධානවලට දෙන පදනමෙන්.ඒත් කාළෙකින් අපට නඩත්තු මුදල් දුන්නේ නෑ.ප්‍රතිපාදන නැති බවයි කියන්නේ.ඒත් ඉතින් අපි ඒවා වතුර ගලා එන්නට පුළුවන් විදියට එළි පෙහෙළි කරලා ශුද්ධ පවිත්‍ර කර ගන්නවා.වතුර ඕනෙ අපටනේ. ඒ වුණාට අරාවත්ත වැවේ ඉඳන් අපේ ගොවිතැනට වතුර ගේන මහ ඇළ ශුද්ධ පවිත්‍ර කරන්න ඕනේ වාරිමාර්ග කාර්යාලයෙන්.ජල පාලකලා ඉන්නවා,කම්කරුවන් ඉන්නවා, උපකරණ තියෙනවා.ඒත් වාරිමාර්ගෙ අය එක වල් ගහක් අයින් කරලා නෑ.අපිට වතුර එන්නේ කොහොමද ඇළ පවිත්‍ර කරලා නැතිව.ඇහුවාම කියන්නේ ප්‍රතිපාදන නැහැ කියලා.පඩි ගන්න සේවකයෝ ඉද්දි ප්‍රතිපාදන මොකටද? ඇළේ දුර කිලෝමීටර දෙකයි.ඒක රකරක්කෙනාට බෙදලා දුන්නානම් හරි.මෙයාලා බලන්නේ ඒකත් කොන්ත්‍රාත් දෙන්න.එතකොටනේ අතට කොමිස් එන්නේ.කොයි තරම් කැතද, යාය 12 කොටසේ ඇළට ගල් වැටිලා ඒක අයින් කරන්න සල්ලි නෑලු.සේවකයෝ ඉන්නේ අහවල් කාරණේකටද කියලා අපි දන්නේ නැහැ.මේ අයට පඩිගෙවන්නේ වැඩ නොකර ඉන්නවාටදැයි ජයනන්ද ගොවි මහතා පැවසීය.

අපේ කොටස් වලට දැන් කන්න දෙකක්ම මඟහැරුණා වාරිමාර්ග නිළධාරීන්ගේ කඹ ඇදිල්ල හින්දා.පහුගිය දවස් වල වැස්සා දැන් වැවේ අඩි 32ක් විතර වතුර තියෙනවා.අපි දැන් ඇට හිටවලා ඉවරයි. ඒවා පැළවෙන්න වතුර ඕන.මේ අරාවත්ත වැවේ වතුරෙන් මේ වගාව කරන්න වතුර මදි.නාගදීප මහවැවෙන් අපට වතුරදාන්න ඕනේ.එහෙම වුණොත් මේ අගාවතේ ගොවීන්වන අපටත් වගාව සරුවට කරන්න පුළුවන්.අඩි 35ක් පිරුණොත් ඔක්කොම වැඩ කරන්න පුළුවන් කියලා ගොවීන් විදියට අපි දන්නවා.දැනටමත් අඩි 32කට කිට්ටුවට වතුර තියෙනවා. 12වෙනිදා කමිටුවේදී ඉංජිනේරුතුමිය වතුර දෙන්නම් කීවා.ඒ නිසයි වැඩ කළේ.මේ වගාවන් දවස් 60නේ මහත්තයෝ ඉක්මනින් අස්වැන්න නෙළනවා.ඉතින් හැමදාමත් වතුර දෙන්නේ නැහැනේ. මාස් කන්නයේදි වහිද්දීනේ මහත්තයෝ යළට වුවමනා වතුර ප්‍රමාණය කොච්චරද කියලා සැලසුම් කරන්න ඕනේ.එහෙම වුණොනම් මෙච්චර කරදරයක් වෙන්නේ නැහැ. මේ ටිකටනේ මේ ඇදිල්ල.යනුවෙන් ඒ.ජේ.එම්.චන්ද්‍රසිරි ගොවි මහතා පැවසීය.

1968දි ආරම්භ කළ නාගදීප ගොවිජනපද ව්‍යාපාරය,ගොවි බිම් හෙක්ටයාර 1709ක් වගාවන් සඳහා වෙන්කර ඇත. ව්‍යාපාරයට ජලය සැපයෙන නාගදීප වැවේ අක්කර අඩි විසි හත් දහසක(27000) ජල ධාරිතාවක් රඳවා ගත හැකි අයුරින් ඉදිකර ඇත.මේ වන විටමුළු ව්‍යාපාරයේම ගොවි සංවිධාන 21ක් වටා ගොවින් එක් රැස්වී සිටිති.

– සී.කුමාර ගිරාඳුරුකෝට්ටේ

273 views
Main News