ගෝටාභය සමග අවබෝධතා ගිවිසුමකට ශ‍්‍රීලනිපය සූදානම්.. ශ‍්‍රීලනිපයේ පූර්ණ සහාය ගෝටාභයට.. මැතිවරණයට පෙර ගෝටා ඡන්ද ලක්‍ෂ 65 පනී..

August 22, 2019 at 10:32 pm | lanka C news
ගෝටාභය සමග අවබෝධතා ගිවිසුමකට ශ‍්‍රීලනිපය සූදානම්.. ශ‍්‍රීලනිපයේ පූර්ණ සහාය ගෝටාභයට.. මැතිවරණයට පෙර ගෝටා ඡන්ද ලක්‍ෂ 65 පනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර ඇති ජනාධිපති අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දින කිහිපයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය දීම සදහා සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

මේ වන තුරුත් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකයකු නොවන නිසා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්නැයි ආරාධනා කරන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට අදහසක් නැති බවත් ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්චාව සුබවාදී ලෙස අවසන් කරන්නට බලාපොරොත්තු වන බවත් කීය.

කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අදහස් කරන බවද ඔහු පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද පූර්ණ කැමැත්ත ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට සූදානමින් සිටින බවයි. ශ‍්‍රීලනිප සහයෝගය කිසිසේත්ම සජිත් ප්‍රේමදාසට හෝ අනුර දිසානායකට හෝ රනිල් වික්‍රමසිංහට ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි ඉතා සතුටින් ප‍්‍රකාශ කරන බවද මන්ත‍්‍රීවරයා කීය.

2018 පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පලාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ඡුන්ද ලක්‍ෂ 50ක් ලබා ගත් අතර ශ‍්‍රීලනිපය හා සන්ධානය ලක්‍ෂ 15ක පමණ ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේය.

ශ‍්‍රීලනිපයෙන් 16ක කණ්ඩායමක් පොහොට්ටුවට එක් වූයේද ඉන් කලකට පසුය.

මෑතකදී එල්ල වූ පාස්කු බෝම්බ ප‍්‍රහාරයද මෙරට ඡුන්ද දායකයා වෙත දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුකල අතර ආරක්‍ෂාව සහතික කලාපයකට ඔවුන් ඇදී යාමේ විශාල ඉඩක් තිබේ. එම ප‍්‍රහාරය මෙරට කතෝලික ජනතාව මතද විශාල බලපෑමක් කර ඇත.

112 views
Main News