චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක් – කථානායක කරු ජයසූරිය

October 17, 2016 at 2:06 am | lanka C news
චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක් – කථානායක කරු ජයසූරිය

වසර දහස් ගණනක් පුරා ආගමික, සංස්කෘතික හා ආර්ථික බැදීම් සහිත සුවිසල් චීන දේශය අප රටේ යහපත් කාල වකවානුවලදී මෙන්ම දුෂ්කර අවස්ථාවලදී ද නොසැලී සිටි කළ්‍යාණ මිත්‍රයෙක් බවත්, වර්තමානයේදී ලොව ආර්ථික බලයෙන් අද්විතීය ස්ථානයකට පැමිණ සිටින චීන දේශයෙන් අප රටට ලබා ගත හැකි පුර්වාදර්ශ විශාල ප්‍රමාණයක් ඇති බවත්, කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරුන් සමග ගොස් චීන පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටු සභාපති (කථානායක) ඩීජියෑන් ෂෙන් මහතා ඇතුළු දේශපාලන ප්‍රදානීහු හමුවූ අවස්ථාවේදීය.

චීන රජය මගින් පූර්ණ අනුග්‍රහය දැක්වූ මෙම විශේෂ සංචාරය සදහා විපක්ෂ නායක ආර් සම්බන්දන්, එජාප නායකත්වය නියෝජනය කරමින් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රත්සංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනියෝජනය කරමින් තාක්ෂණ සහ පර්යේෂණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද, යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙම සංචාරයේදී ශ්‍රීලංකා නියෝජිත පිරිස චීන ජනතා දේශපාලන උපදේශක සභාවේ සභාපති ෂෙන් ෂෙන්ග් යූවූ මහතා සහ ෂැන්ග්හයි පාලක ජනතා කොංග්‍රසයේ ප්‍රධානී යින් යිචුයි මහත්මිය මෙන්ම බේයිජිං සහ ෂැන්ග්හයි ඉහල පෙලේ දේශපාලන නායකයන් ගණනාවක් හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත් වූහ. චීනයේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වූ බෙයිජිං සහ ආර්ථික මධ්‍යස්ථානය වූ ෂැන්ග්හි දීමෙම සාකච්ඡා පැවැති අතර, කථානායක කරු ජයසූරිය මහතා සහ පක්ෂ නියෝජිතවරු තම පක්ෂ නියෝජනය කරමින් ද අදහස් දැක්වූහ.

මෙහිදී කරු ජයසූරිය මහතා මින් වසර 1600කට පෙර සිදු වූ චීන ජාතික පාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා ගමන මෙන්ම හියුන්සාන්ඩ් භික්ෂූවගේ ශ්‍රී ලංකා සංචාරය වැනි ඉපැරණි ඓතිහාසික සබදතා රැසක් චීනය සමග ශ්‍රී ලංකාවට ඇති බවත්, එම සබදතාවල නව පියවරක් දෙරටෙහි පාර්ලිමේන්තු සහයෝගීතාව මගින් තැබිය හැකි බවටත් විශ්වාසය පළ කළේය.

විශේෂයෙන්ම 60 දශකය ආරම්භයේ ඇති කර ගත් රබර් සහල් ගිවිසුම දෙරටටම ප්‍රතිලාභ රැසක් අත්පත් කර දුන් අතර, එදා චීනයේ රබර් අවශ්‍යතාවයෙන් ප්‍රධාන කොටස සැපයූ සැපයුම්කරු ලෙස ශ්‍රී ලංකාව කටයුතු කළ බවද හෙතෙම සිහිපත් කළේය.

මෙම සාකච්ඡාවේදී කරු ජයසූරිය මහතා මෙසේ ද කීය. 1960 දශකයේදී 27 වියැති තරුණයෙකු ලෙස මම ඔබේ දේශයට පැමිණියේ ශ්‍රීලංකාව වෙනුවෙන් රබර් ව්‍යාපාරයේ කටයුතු මෙහෙයවීමටයි. 1980 දී ඔබේ රටට රබර් ඇට දශලක්ෂයක් පරිත්‍යාග කිරීමට මූලික වෙන්නටත් මට හැකි වුණා. අද හයිනාන්ත් පලාතේ ඇති දැවැන්ත රබර් වගාවේ ආරම්භය එයයි. එදා දුම්රියෙන් ගමන් කරද්දී මට ලැබුණු කුඩා කොමියුනිස්ට් අත් පොතක් චීන සිහිවටනයක් ලෙස මේ මොහොතේත් මා සතුව පවතිනවා. එදා සහ අද චීනය ලබා ඇති අසිරිමත් දියුණුව තුළ ඇත්තේ නිවැරදි දේශපාලන නායකත්වය සහ ජනතාවගේ කැපවීම බව පැහැදිලියි.

විශේෂයෙන්ම ආයෝජකයන් වෙනුවෙන් ෂැන්ග්හයි පලාතේ ලබා දී තිබෙන පහසුකම් විශිෂ්ඨත්වය පූඩෝන් නිදහස් ආර්ථික ප්‍රදර්ශන මධ්‍යස්ථානය තුළ දී අපට අත්දකින්නට ලැබුණා. ආයෝජකයකුගේ ව්‍යාපෘති යෝජනාවක් සහිත අයදුම්පතක් අනුමත කිරීමට ගත වන්නේ එක් දිනක කාලයක් බව දැන ගන්නට ලැබීම අප රටටත් වැදගත් පාඩමක්.

1948 දී නිදහස ලබන විට ජපානයේ සහ ශ්‍රීලංකාව අතර, තිබුණු ඒක පුද්ගල ආදායමේ වෙනස එක් ඩොලරයක් පමණයි. අද එහි දැවැන්ත පරතරයක් තිබෙනවා. අප රට මෑත ඉතිහාසය තුල මුහුණ දුන් අවාසනාවන්ත අරගල එම පසුබැසීමට හේතුවයි. ඒ සෑම විටම චීනය අපට දුන් සහාය සැබෑ මිතුරෙකුගේ ස්වභාවය තහවුරු කළා. දැන් අපගේ එකම උත්සාහය හැකි ඉක්මනින් ආර්ථිකය ශක්තිමත් කර සංවර්ධන ඉලක්ක කරා හඹා යාමයි. එමෙන්ම රට තුල 2015 වසරේ දී දේශපාලන පරිවර්තනයක් සිදු වුනා. ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා පත් කර ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර තිබෙනවා. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුව පැත්තෙන් පියවර ගණනාවක් ම ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට සිය දැනුම වැඩි කර ගැනීමට මෙවැනි පුහුණු අධ්‍යයන චාරිකාවන් සදහා චීන රජය මූල්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබදව අප ස්තූතිවන්ත වෙනවා. ඉදිරියේදීත් අප මන්ත්‍රීවරුන් ට එම අනුග්‍රහය ලබා දෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. චීන දේශය සෑම අතින්ම ලබා තිබෙන සමෘර්ධිය සංවර්ධනය තව දුරටත් ඉදිරියටත් ගෙන එන්නට හැකි වේවා යැයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම ජනතාව වෙනුවෙන් අප සුභාශිංෂණය කරනවා. සිනහවෙන් පිරුණ මිනිසුන් සිටින ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස චීනයේ දේශපාලන නායකයන්ට අප ගෞරවයෙන් ඇරයුම් කරනවා.

චීන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් උත්කෘෂ්ඨ මන්දිරයේදී (Great Hall) හිදී පැවැත්වූ මෙම විශේෂ සාකච්ඡාවේ දී මහජන චීන පාර්ලිමේන්තුවේ සභාපති ( කථානායක) ඩිජියැන් ෂෙන්ග් මහතා පැවසුයේ චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඓතිහාසික මිතුදමක් බවත් චීන ජාතිකයන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සුන්දර මුතු ඇටය ලෙස සලකන බවත් ය. ශ්‍රී ලංකාව ද චීනය මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයන් වැනි දුෂ්කර අවස්ථාවලදී උපරිමයෙන් තම රටට සහයෝගය ලබා දී ඇති බව පැවසූ ඩිජියැන්ග් මහතා ඉදිරියේදී ද ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සදහා සහාය දෙන බව පැවසීය. ශ්‍රීලංකාව තුල ආයෝජනය කිරීමේදී රට තුල පවතින දේශපාලන ස්ථාවරත්වය බදු ප්‍රතිපත්තිය සහ ආයෝජකයන් සදහා පහසුකම් සලසන ආයතනයන් හි ක්‍රියාකාරීත්වය ඕනෑම ආයෝජකයෙකු ඉතා වැදගත් ලෙස සලකනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. චීනයේ විවිධ දේශපාලන පක්ෂ 600 ක පමණ ප්‍රමාණයක් තිබෙන අතර, කොමියුනිස්ට් පක්ෂය එම මතවාද වලට සවන් දෙමින් තම දේශය ප්‍රගතිය කරා ගෙන යන බව ද ඒ මහතා පෙන්වා දුන් ඒ මහතා මෙසේද කීය. ඉතා කුඩා වුවද ලෝක බල තුලනයේ දී ශ්‍රී ලංකාව අතිශය වැදගත් තැනක් බව චීනයේ විශ්වාසයයි. කලක අපට අභියෝගයක් ව තිබූ රටේ විශාලත්වය සහ අධික ජනගහනය භාග්‍යයක් බවට පත් කර ගැනීමට අප රටට හැකි වූයේ විශිෂ්ඨ නායකයන්ගේ මග පෙන්වීම තුළින් සහ ජනතාවගේ කැපවීමෙන්. අප හඹා යන්නේ සංවර්ධනය සහ අප ජනතාවගේ සෞභාග්‍යයයි. ලෝක බලවතා වීමේ ඉලක්කය නොවෙයි. ශ්‍රී ලංකාවට තිබෙන භූගෝලීය විශේෂත්වයන් මෙන්ම ආසියානු කලාපයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස සියවස් ගණනාවක් තුළ ගොඩ නැගී ඇති තත්ත්වය භාග්‍යයක් බවට පත් කර ගනිමින් ඉදිරියට යා හැකියි. ඒ සදහා අප දෙරට අතර සබදතා නව වටයකින් ආරම්භ කළ හැකි බව අපගේ විශ්වාසයයි. අප අතිශයින් වැදගත් කොට සලකන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි. එවිට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය බිහි කිරීම පහසුයි. ආර්ථිකය ශක්තිමත් නොකර ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ශක්තිමත් කිරිමට හැකි යැයි අප කල්පනා කරන්නේ නැහැ. කථානායකවරයා ‍ලෙස ශ්‍රී ලංකාවේ පිළිගත් පක්ෂ නායකයන් කැටුව ඔබතුමන් පැමිණිම ඉතා පුළුල් සංවාදයකට මුල පිරූ බව අප කල්පනා කරනවා යැයි ද චීන කථානායකවරයා සදහන් කළේය. මෙහිදී එක් එක් පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වීමේ වාරයේදී විපක්ෂනායක ආර් සම්බන්දන් මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අමිහිරි අත්දැකීම් අමතක කර වාර්ගික සුහදතාවය තහවුරු කිරීම සදහා නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට සූදානම් වන මේ මොහොතේ තමන් විශාල බලාපොරොත්තුවක් තබා ඇති බවත් චීනය ලබා දෙන සහාය ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය ලෙස තමන් අගය කරන බවත් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා චීනය සමග ඉතිහාසයේ වඩාත් ශක්තිමත් සබදතාවය ගොඩ නැගූ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාත් ඉන් පසු බණ්ඩාරනායක මැතිනියත්, චීනය සම්බන්ධයෙන් අනුගමනය කළ ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තිය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉදිරියට ගෙන යනු ඇති බව අවධාරණය කළේය.

මෙහිදී චීන නායකයන් හමුවේ අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා :වාම වාදී දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලනය මෙන් ම ජාත්‍යන්තර සබදතා පිළිබදව ද තමන් ට සුවිශේෂී අර්ථ කථනයක් ඇති බවත් ලෝක බලතුලනයේ දී චීනයේ කාර්යභාරය පිළිබදව තමන්ට පැහැදීමක් ඇති බවත්ය. ශ්‍රී ලංකාව වර්තමානයේදී අධික ණය බරකට මුහුණ දී තිබීම තමන් දකින මූලික ගැටළුවක් බවත්, තමන් චීනයේ මිත්‍රත්වය සහ ආයෝජනයන් අපේක්ෂා කරන්නේ එම ණය බර අඩු කර ගැනිමට රැකුල් දෙන පදනමින් බවත් පෙන්වා දුන්නේය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු ෂැන්ග්හයි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ලක්ෂිත රත්නායක යන මහත්වරු දූත මෙහෙවරෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර, ලෝකයේ විශාලතම කර්මාන්ත නිදහස් වෙළද කලාපය වන පූඩෝන් හි එක්ස්පෝ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පැයට කි.මී 433 ක වේගයෙන් දිවෙන ෂැන්ග්හයි – පූඩොනේ අධිවේගී දුම්රිය ෂැන්ග්හයි නගර සැලසුම් මධ්‍යස්ථානය ගැඹුරු මුහුදේ ඉදි කර ඇති යන්ග් ෂාන් වරාය වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව බේජින් විද්‍යා හා තාක්ෂණික කෞතුකාගාරය ආදිය ශ්‍රී ලංකා දූත පිරිසෙහි විශේෂ නිරීක්ෂණයට ලක් විය.

ශ්‍රී ලංකා දූත පිරිසෙහි පරිවාරක අමාත්‍යවරයා ලෙස පූර්ණ කාලීනව සංචාරය පුරාම කටයුතු කරන ලද්දේ චීන පාර්ලිමේන්තුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහ චීන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව පදනමේ සභාපති Wang Xiaochu මහතායි.

– චමින්ද ගමගේ

33 views

3 Comments to “චීනය දුකෙහිදීත්, සැපෙහිදීත් අපට සිටින විශ්වාසනීය මිතුරෙක් – කථානායක කරු ජයසූරිය”

  1. ranil says:

    I thought Yahapalana govt came to power by criticising MR’s close relationship with China. Looks like soon there will not be much difference between MR policies and current government’s policies

  2. Kolitha says:

    Mahinda Chinthanaya pamanai….
    meya apps chinthanaya nowe….go to hell.!

  3. Amaraweera says:

    It is too late now to praise China by this government. You all treated that Great Country like shit to come to power. They helped us to defeat terrorism unconditionally, what a ungrateful country to forget so soon !!! Shame to Srilanka Disgraceful Hon speaker!!!

Main News