ඡන්දෙට කලින් පිල්මාරු තොගයක් ළගම එයි..

December 17, 2017 at 3:50 pm | lanka C news
ඡන්දෙට කලින් පිල්මාරු තොගයක් ළගම එයි..

පළාත් පාලන මැතිවරණයට පෙර ඉදිරි දින කිහිපයේදී දේශපාලන පිල් මාරුවීම් කිහිපයක් සිදුවීමට ඉඩ තිබෙන බවට ආරංචි පැතිර යමින් තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් පැවැසීය.

මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු ලබන 21 වැනිදා එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් පවතින බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී කතාබහ කෙරුණු බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි.

ආණ්ඩුවෙන් ඉවත්ව එ්කාබද්ධ විපක්ෂයට එකතු වන බව කියන ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙලෙස ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙක් පැවැසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා එම ඇමැතිවරුන් ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද ආරංචි පැතිර යයි.

මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පැවැසුවේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඒකාබද්ධ විපක්ෂයේ නාම යෝජනා සකස් කිරීමටද සහයෝගය ලබාදුන් බවයි. එම මන්ත්‍රිවරයා තමන් සමඟ නාම යෝජනා සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වූ බවත් ආණ්ඩුවට යෑම ගැන කිසිදු සංඥාවක් නොවූ බවත් නානායක්කාර මන්ත්‍රිවරයා වැඩිදුරත් සඳහන් කෙළේය.

– Mawbima

21 views

2 Comments to “ඡන්දෙට කලින් පිල්මාරු තොගයක් ළගම එයි..”

  1. "වෙස්මාරු" says:

    වාසිය බලා වැඩකරනා මුං හැත්ත
    පක්‍ෂ පාවදීල බල තන්හාවම ගත්ත
    කැපිය හැක පොල්පිත්තෙන් සත්ත
    වැඩකට නැති මොන්ගල් මේ හැත්ත

    පක්‍ෂය මාරු කල විගස අදහස්ද
    වෙනස් විය ක්‍ෂනික පාටත් අන්ද
    අහෝසි කරල මුන්ගෙ ප්‍රජා චන්ද
    මතු රකිනු අවංකම දායක චන්ද

  2. USA says:

    මෙ වගෙ අසික්කිත, වනචර, නූගත්, හොර, මෝඩ පිරිසක් රට පාලනය කරන රටක් මෙ ලෝකයෙ නෙත….මුංට හෙන හතක්ම ගහපිය….මුන්ගෙ පවුල් පිටින් විනාශ වෙවා….

Main News