ජනතාවගේ පීඩාවන් එකින් එක ඉවත් කරන්න සූදානම්…

January 8, 2022 at 8:02 am | lanka C news
ජනතාවගේ පීඩාවන් එකින් එක ඉවත් කරන්න සූදානම්…

මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව  මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන් පිරිපහදුකර ගලගෙදර හරහා මාවතගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් දශක කිහිපයක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟයෙන්  පීඩා විදි  මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි.

මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා  දිනකට අවශ්‍ය ඝන මීටර් 500 ක ජල අවශ්‍යතාවය ද  මෙමඟින් ආවරණය වේ.

මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3126 කි. මෙය දේශීය බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ ‍ජල යෝජනා ක්‍රමයකි. ‍

මාවතගම ජල සම්පාදන ‍ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් පැවති උත්සවයේදී අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත්‍රවරුනි,

මේ පළාත්වල ජනතාව ජලයේ වටිනාකම ඉතාම හොඳින් දන්නවා. ඒ ගැන අමුතුවෙන් මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යාපෘතිය මීටත් කලින් නිමා කරන්න හැකි වුණා නම් තවත් වටිනවා. ඒ තරමට මේ පළාතේ ජනතාව දශක ගණනාවක පටන් පිරිසිදු පානීය ජලය නැතිව පීඩා වින්ඳා. අද ඒ ගැටලුවට ස්ථිර විසඳුමක් දෙන්න රජයක් විදියට අපට හැකිවෙලා තියෙනවා. අපි දන්නවා ලෝකෙ කොතරම් ජලය තිබුණත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නෙ ඉතාම සීමිත ප්‍රමාණයයි.

ඒ ප්‍රමාණයෙනුත් බීමට ගන්න පුළුවන් වෙන්නෙ තවත් සීමිත ප්‍රමාණයක්. මේ තරම් පානීය ජලය සීමා වුණත් අපට පානීය ජලය ලැබෙන මූලාශ්‍ර ආරක්ෂා කරන්න මිනිස්සු ඉදිරියට නොඑන එක ගැටලුවක්.

එදා ගංගා ඇළ දොල වලින් ලබාගත් පිරිසිදු පානීය ජලය අද ඒ ආකාරයෙන්ම ගන්න විදියක් නැහැ. මිනිස් ක්‍රියාකාරකම්වලින් ඒවා දූෂණය වෙලා. අපි ආරක්ෂා කරගත යුතු තැන් අප විසින්ම විනාශ කිරීමේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තියෙන්නේ අද ජීවත්වන ජනතාවට වගේම නූපන් පරපුරටයි.

මිත්‍රවරුනි,

මේ ගැන අවධානය යොමු කරලා ජල මූලාශ්‍ර ආරක්ෂා කරන්න විශේෂ පියවරක් ගන්න කියලා අදාළ අංශ දැනුවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න වේගවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් උපදෙස් දීලා තියෙනවා.

මිත්‍රවරුනි,

ඔබ දන්නවා කුරුණෑගල කියන්නේ ජල මූලාශ්‍ර හිඟ දිස්ත්‍රික්කයක්. මාවතගමට බලපෑවෙත් ඒ ගැටලුව. අපි මේ ගැන සොයා බලලා මහවැලි ගඟෙන් ජලය ලබාගෙන කටුගස්තොට ජල පිරිපහදුවට යොමු කරලා ගලගෙදර හරහා මාවතගමට ගේන්න අපට හැකිවුණා. මාවතගම නගරයෙත් පිලැස්සෙත් තිබෙන මේ ජල කුළුණු දෙකින් බෙදාහරින ජලය ග්‍රාමසේවා වසම් 28කට බෙදාහරිනවා. ඒ නිසා දහස් ගණනක් ජනතාවගේ පානීය ජල ගැටලුව නිමා කරන්න අපට අද හැකිවෙනවා.

හැබැයි මේ කටයුත්ත මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. සැමට පානීය ජලය ලබාදීමේ ඉලක්කයටයි අපි ගමන් කරන්නෙ. මේ ප්‍රතිපත්තිය 2025 දි යථාර්ථයක් වෙනකොට මුළු රටටම නල මඟින් පිරිසිදු පානීය ජලය ලබා දෙන්න අපට හැකියාව ලැබෙනවා.

මේ ව්‍යාපෘතියට කුරුණෑගල, රිදීගම, ඉබ්බාගමුව, ගනේවත්ත, මැල්සිරිපුර, මාස්පොත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණ කරමින් අපි ඉදිරියට ගෙනියන්න කටයුතු කරලා තියනවා.

මිත්‍රවරුනි,

පිරිසිදු පානීය ජලය නොමැති නිසා  මේ ප්‍රදේශයේ වගේම තවත් බොහෝ ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වෙලා තියෙනවා. ඒ අයගෙන් සැලකිය යුතු පිරිසක් කුරුණෑගලත් ඉන්නවා. එදා අපි විසල් කුරුණෑගල ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ ඒ අභියෝගය ජයගන්න. අපි පටන්ගත්ත ඒ ව්‍යාපෘතිය යහපාලන ආණ්ඩුව එදා ඡන්දෙ බලාගෙන කඩිමුඩියෙ විවෘත කරන්න ගිහින් කරපු වැරැද්දත් ජනතාව වෙනුවෙන් අපිම නිවැරදි කළා.

මිත්‍රවරුනි,

ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවා ද අහනවා. අපි මේ ව්‍යාපෘති කරන්නෙ ඡන්දයක් බලාගෙන නෙමෙයි. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂෙ මොකද්ද කියලා කවුරුහරි ඇහුව ද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නෙ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත රජයක්. භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරුයි. ඒ නිසා තමයි අපි සහන දෙන්න යෝජනා කරන්නෙ.

හැබැයි අද විරුද්ධ පක්ෂය ජනතාවට සහන දෙනවට කැමති නැහැ. ඒ අය ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැනගන්න ඕන ඇත්ත ඕකයි.

මිත්‍රවරුනි,

මේ අය කතා කරන්නෙ කොවිඩ් ගෙනාවේ අපි වගේ. හැබැයි කොවිඩ්වලින් ජනතාව ආරක්ෂා වුණේ අපි ගත්ත පියවර නිසා කියලා කවුරුත් කතා කරන්නෙ නැහැ.

බඩු මිල වැඩියි කියන එක දැනගත්තම අපි ඒ ගැන ආණ්ඩුවක් විදියට තීරණ ගන්නවා. හැබැයි මුළු ලෝකෙම වෙනස් කරපු කොවිඩ් වසංගතයෙන් සිද්ධ වුණ බලපෑම අපට එක රැයෙන් ඉවත් කරන්න බැහැ.

ජොන්ස්ටන් ඇමතිතුමා කියනවා වගේ රජයක් විදියට අපි ශක්තිමත්ව ඉදිරියට යනවා. අභියෝග මතින් හෝ ජනතාවට දුන් පෙරොන්දු ඉටු කරන්නයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ සඳහා අභියෝග එන විට ඒ අභියෝගය භාරගන්න එකමුතුකම අවශ්‍යයයි. එහෙම නැතිව තමන් ඉන්න තැනම විවේචනය කරන කොට ජනතාව තේරුම් ගන්න ඕනි ඇයි විවේචනයට කලින් ක්‍රියාත්මක වෙන්න බැරිවුණේ කියලා.

අපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම

38,394 views

9 Comments to “ජනතාවගේ පීඩාවන් එකින් එක ඉවත් කරන්න සූදානම්…”

  1. රජයෙ සේවකයන් says:

    මොන ජානතාවටත් කලින් රජ විරුවන් ට (රජයෙ සේවකයන් ට ) සලකල ඉන්න ඕනේ රටේ වෙඩ දායි පුරවෙසියොනේ.

  2. 69 ලක්ෂෙ වහලෙක් කථාකරයි says:

    අන්න හරි. කරන්න ඕන ලොකුම දේ තමා ඔහේ ගේ පවුලේ අයත් එක්ක ඩොලර් ලක්ෂ ගනන් නාස්ති නොකර ලෝකේ වටේ රවුම් නොගහා ඉන්න එක.

  3. පොඩි එකා says:

    එකිං එකා මැරිලා පලයවු.
    එතකොට ජනෙතා පීඩෙනේ එකිං එක අඩු වෙයි.

    පීඩන 226 ක් ඉන්නවා ගෙවල හැත්ත.

  4. pwsenevirathne says:

    තමුසෙ මැරිල ගියානම් ජනතාවට ලොකු සහනයක්

  5. sam says:

    සුනාමි ආධාර ගසාකාපු ජරාපක්ෂ හොරමුලේ නිර්මාතෘ ලොල් ලොල් ගගා තවමත් බොරැ කෙල කෙල පවුමයි පුරෝ ගන්නෙ. බලාගෙන දෙව්දත්තයට උන දේ වෙයි.

  6. දොලේවත්ත says:

    අනේ අප්පා අසරණයා

  7. Licha says:

    දවල්ද?

  8. pemitha says:

    thopi mariyam ethekota eta wada ratata sahanayak horu

  9. APerera says:

    අගමති තුමා්ෙ, දේසපාලුවො හොරා කන එක, වංචා කරන එක එකින් එක නවත්වන්න. From top to bottom. ඔබ තුමා පටං ගෙන, අාදර්ශයක් වන්න. එතකොට ඔය ගොඩාක් පුරස්න විසඳේවි.

Main News