ජනපතිගේ පුද්ගලික ලේකම්ට අධිකරණයේ නඩු පැවරේ.. දත්ත සොරකම් චෝදනා..

January 10, 2019 at 11:20 am | lanka C news
ජනපතිගේ පුද්ගලික ලේකම්ට අධිකරණයේ නඩු පැවරේ.. දත්ත සොරකම් චෝදනා..

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ සතු වූ පෞද්ගලික පරිගණකයට අයුතු ලෙස පිවිස, එහි දත්ත සොරකම් කළේයැයි චෝදනා එල්ල වී සිටින එම මහනගර සභාවේ හිටපු නගරාධිපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස ඉකුත්දා පත්වීම් ලැබූ ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කියවා දෙනු ලැබීය.

නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනා පත්‍ර බදාදා (ජනවාරි 09) දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කියැවීය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදි කරුවන් බව ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ කියා සිටියේය.

බදාදා (09) දින නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්වයෙන් පසුවන හෙයින් අධිකරණය හමුවේ පෙනී නොසිටි බවය.

ඒ අනුව නඩු විභාගය පෙබරවාරි මස 28 වනදා දක්වා කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියම කළේය.

එමෙන්ම පැමිණිලිකාර මධුර විතානගේ අසනීප තත්ත්වයෙන් සිටි බව තහවුරු කෙරෙන වෛද්‍ය සහතිකයක් නඩුව නැවත කැඳවන දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරයා නියෝග කළේය.

2013 වසරේ ජූලි මස 17 වනදා එවකට කෝට්ටේ මහනගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් නගරාධිපති මධුර විතානගේ සතු පරිගණකයට අයුතු ලෙස ප්‍රවේශ වී එහි තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

– BBC

18,179 Viewers

One Comment to “ජනපතිගේ පුද්ගලික ලේකම්ට අධිකරණයේ නඩු පැවරේ.. දත්ත සොරකම් චෝදනා..”

  1. මැදමුලනෙ මුත්තා says:

    මුං වගේ එවුන්ට නගරාධිපතිකමි, ලේකමිකමි දීපු එවුන්ට මඩු වලිගයෙන් තැලිය යුතුයි.

Main News