ජනපති-අගමැති කිසි විරසකයක් නෑ.. ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන නොගියොත් ජනවරමට පිටුපෑමක්..

February 1, 2018 at 6:26 am | lanka C news
ජනපති-අගමැති කිසි විරසකයක් නෑ.. ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන නොගියොත් ජනවරමට පිටුපෑමක්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩු සංකල්පය ඉදිරියට ගෙන නොයන්නේනම් එය ජනතා වරමට පිටුපෑමක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන් වෙන්ව තරග කලත් අවසානයේදී රට වෙනුවෙන් එකට එක්විය යුතු බවද රණතුංග මහතා පවසයි.

ඒ කොළොන්නාව පුරාණ රජමහා විහාරයේ පැවැතිගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩ සටහනට සහභාගීවීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුණ රණතුංග පැවසුවේ කවුරු කුමක් කීවත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන බවයි.

“පසුගිය අවුරුදු දෙකේදී මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අපට හැකි වුණා. ඉදිරි අවුරුදු දෙකේදීද අප කළ යුතු ප්‍රධාන කාර්යන් තිබෙනවා .ඉදිරි අවුරුදු දෙක තමයි අපේ රටේ වැදගත්ම අවුරුදු දෙක. මේ කාලයේදී රටේ ප්‍රශ්න විසදා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා. අද බොහෝ අය කියනවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි අතර විරසකයක් තිබෙනවා කියලා, ඇත්තටම ඒක රණ්ඩු වීමක් නෙවෙයි. යම් යම් අදහස්වල වෙනස් වීමක් පමණයි. ගෙදර නෝනගෙයි මහත්තයගෙයි අදහස් එක සමාන වෙන්නේ නැනේ. ඒ වගේ තමයි මෙතනත්. ප්‍රශ්න එනවා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් බුදුධිමත් නායකයෝ දෙදෙනෙක්. එතුමන්ලා ඒ ප්‍රශ්න බුද්ධිමත්ව විසඳා ගනීවි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වන්නෙත් එයයි.

දැන් නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති තියෙන පක්ෂ දෙකක්. නමුත් පසුගිය අවුරුදු ‍තුනේදීම මේ පක්ෂ දෙකේ නායකයින් තමන්ගේ පක්ෂ ප්‍රතිපත්ති වෙනුවට රටේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා. එය මේ රටේ ජනතාවත් දැනගත යුතුයි. අද ඕන තරම් මාධ්‍ය නිදහස දීලා තියෙනවා. නිදහසේ පාරේ බැහැලා යන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඕනවටත් වඩා දීලා තියෙනවා.මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. එය තමයි මිනිස්සු ඉල්ලුවේ. එය අපි ඉටු කර දීලා තියෙනවා. නමුත් හොරකම් කළ අයට දඩුවම් දෙන්න කියලා ජනතාව කළ ඉල්ලීම තවමත් අපට හරියට ඉටු කරන්න බැරි වුණා. එය පමණයි අද ගැටළුවකට තියෙන්නේ. නමුත් රටක් විදියට අප කළ දේ ගැන සන්තෝෂ වෙන්න පුළුවන්.

පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජාතික පක්ෂයද කියලා බලලා නෙවෙයි. මහ මැතිවරණයේදීත් මේ පක්ෂ දෙකෙන් කිසිම පක්ෂයකට බහුතර බලයක් ලබා දුන්නේ නැහැ. ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී රට වෙනුවෙන් තීරණ ගැනීම පමණයි. දැන් අපට අවශ්‍ය වන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි. අපට ඕනම වේලාවක පක්ෂ හදාගන්න පුළුවන්. නමුත් රට හදාගන්න බෑ. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වී ඉදිරි අවුරුදු දෙකේදීත් කටයුතු කිරීම රටට හිතැති කරුණක්. එය නොකරන්නේනම් ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාව පෙන්නුම් කළ ජනතා අපේක්ෂාවට පිටුපෑමක් වෙනවා. ජනතා වරමට පිටුපෑමක් වෙනවා.” යනුවෙන්ද මෙහිදී පැවසීය.

– තමීර මංජු

57 views

11 Comments to “ජනපති-අගමැති කිසි විරසකයක් නෑ.. ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන නොගියොත් ජනවරමට පිටුපෑමක්..”

  1. pp says:

    janathawa chande dunne janapathi kama ahosi karannayi. ese nathiwa ekathu wela rata kannda nemeyi.

Main News