ජනපති ගෝටාභය හා අගමැති ඉම්රාන් ඛාන් අතර සාකච්චාව මෙන්න..

February 24, 2021 at 6:48 pm | lanka C news
ජනපති ගෝටාභය හා අගමැති ඉම්රාන් ඛාන් අතර සාකච්චාව මෙන්න..

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව (24) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළහ. කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසීය.

දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.

ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ. පාකිස්ථානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මැතිතුමා සඳහන් කළේය.

පාකිස්ථානය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. දෙරට අතර වෙළෙඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළහ.

කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වීය.

තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමු කළහ.

පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය මක්දුම් ෂා මෙහෙමුඩ් කුරේෂි, වාණිජ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ්, විදේශ කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය විශේෂ සහයක බුකාරි සෙයිඩ් ෂුල්ෆිකාර්, විදේශ කටයුතු ලේකම් සොහෙයිල් මෙහමුඩ්, පාකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික)මොහොමඩ් සාඩ් කටක් , විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පරිවාර අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

24,425 views

One Comment to “ජනපති ගෝටාභය හා අගමැති ඉම්රාන් ඛාන් අතර සාකච්චාව මෙන්න..”

  1. උසස් මට්ටමේ රාඡතාන්ත්‍රික භාවයක් පාකිස්ථානය විසින් පෙන්නුම්කරනු ලබයි..! says:

    ඉනදියාවට වඩා බෙහෙවන් වැදගත්, සහ ධණාත්මක සහ උසස් මට්ටමේ රාඡතාන්ත්‍රික භාවයක් පාකිස්ථානය විසින් පෙන්නුම්කරනු ලබයි..!

    අභ්‍යන්තර කාරණාවලට අත නොපොවන තාක්., ගැඹුරැ විශ්ලේශණයකින් යුුතුව සම්බන්ධතා ශක්තිමත් කර ගතහොත් දෙරටටම විසාල පුතිලාභ අත්වියහැකියි..!