ජනපති මෛත‍්‍රී ඉරානයෙන් ඉන්ධන සහන ලබාගනී..

May 14, 2018 at 8:02 am | lanka C news
ජනපති මෛත‍්‍රී ඉරානයෙන් ඉන්ධන සහන ලබාගනී..

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදුවිය.

ඉරාන ජනාධිපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

විචිත‍්‍රවත් පිළිගැනීමේ උත්සවයකින් අනතුරුව ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර ද පවත්වමින් ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදුවිය.

නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡ ආරම්භ කෙරිනි.

අතීතයේ පටන් දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙද සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබද මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡ කළහ.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී සදහන් කළේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සදහා ඉරාන රජයේ සහය අපේක්ෂා කරන බවයි.

ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් පුථල් කර ගැනීමට ද නායකයින් සාකච්ඡුා කළහ.

ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සදහා මීට වසර 50 කට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත‍්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ඉදිරියට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.

එමෙන්ම ඉරානය ශ‍්‍රී ලංකාව විසින් වැඩිවශයෙන් තේ අපනයනය කරන රටක් වන අතර එම කටයුතු ඉදිරීයේදී වැඩිදියුණු කර ගැනීම පිළිබදව ද ජනාධිපතිතුමා ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ පිළිබද ඉදිරි පියවර කඩිනමින් ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා සදහන් කළේය.

ශ‍්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබද මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගන්මින් දෙරට අතර ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබදවද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය පුථල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබදවත් පේෂකර්මාන්ත ක්ෂේත‍්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබදවත් අවධානය යොමු විය

ඉරානය සහ ලංකාව අතර පවතින ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සදහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන් අතර ඒ සදහා ඉතා ඉක්මණින් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන ඉරාන ජනාධිපතිවරයා සදහන් කළේය.

ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සදහා වූ එකාබද්ධ කොමිසම යටතේ මෙම සියලූ කටයුතු ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ඉරාන ජනාධිපතිතුමා සදහන් කළේය.

එමෙන්ම 2004 වසරේ දෙරට අතර ඇතිකර ගත් දෙරටේ වෙළෙද භාණ්ඩවලට ප‍්‍රමුඛතාව ලබාදීමේ ගිවිසුම ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ද නායකයින් එකග වූහ.

ආසියානු සහයෝගිතා සංගමයේ සහ නොබැ`දි ජාතින්ගේ සාමාජික රටවල් ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී සහයෝගයෙන් කටයුතු කිරීමටත් ලෝක ත‍්‍රස්තවාදය පිටුදැකීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වැනි කටයුතුවලදී සාමුහිකව කටයුතු කිරීමටත් නායකයින් සපථ වූහ.

මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විශේෂයෙන් සදහන් කළේ නොබැදි ජාතින්ගේ සාමාජික රටක් ලෙස සියලූ මිතුරු රාජ්‍යයන් එක ලෙස පිළිගනිමින් මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තියක් ඔස්සේ සියලූ රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අද ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත බවයි.

ශ‍්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබදතා ආරම්භ කෙරෙන්නේ වසර 61 කට ඉහතදී වුවද වසර දහස් ගණනක ඈතකට දිව යන දෙරට අතර මිතුදම පිළිබද මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සිහිපත් කළේය.

උමා ඔය ව්‍යාපෘතියට සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවලට විදුලිබලය සැපයීම සහ දුම්රිය ක්ෂේත‍්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සහය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා ඉරාන රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ඉන් අනතුරුව දෙරට අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

සෞඛ්‍ය, වෛද්‍ය විද්‍යාව, ඖෂධීය සහ වෛද්‍ය උපකරණ,
ප‍්‍රමිතිකරණය, මිනුම්විද්‍යාව හා පුහුණුව
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම
සිනමාව සහ රූපවාහිනි
සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණය
යන ක්ෂේත‍්‍රවලට අදාළව එම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

– ජනාධිපති මාධ්‍ය අංශය

54 views
Main News