ජනපති සහ අගමැති එකට තබා ඉනෙන් යට කොන්ක්‍රීට් දමලා…

January 24, 2017 at 4:05 am | lanka C news
ජනපති සහ අගමැති එකට තබා ඉනෙන් යට කොන්ක්‍රීට් දමලා…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

නියඟයට හසු වූ වැඩ බැරි ආණ්ඩුව

මේ වසර මුල දැඩි නියඟයක් එන බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පල කරලා වසරකට ආසන්නයි. නියඟය පිලිබඳ කතා කරමින් සිටියත් එයට මුහුණ දෙන්න වැඩපිලිවෙලක් නෑ. ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන්නේ නියඟය උදා වෙලා මාසයකටත් පස්සේ. එනම් 2017 ජනවාරි 19 වෙනිදායි. නියගයට සූදානම් විය යුත්තේ නියගය එන්න කලින් මිස නියගය ආවාට පස්සේ නෙමෙයි. මේ ආණ්ඩුවේ වැඩබැරිකම හොදින්ම පෙන්වන අවස්ථාවක් මේක. දැන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු වල දී උපදෙස් දෙනවා වහාම මඤ්ඤොක්කා සිටුවන්න කියලා. මඤ්ඤොක්කා දණ්ඩ මුල් අදින්න පසේ තෙතමනය තිබෙන්න ඕනෑ. මේ වියලි පොලවේ මුල් අදින්නේ නෑ. මුල් ඇදුනා කියමුකෝ. අල බහින්න මාස 6ක් අටක් අතර කාලයක් යනවා. අලේ බහින කොට නියඟේ ඉවරයි.

පසුගිය කාලයේ ජල විදුලිය සීමා කරලා තාප විදුලිය නිපද වූවා නම් කෘෂිකර්මයට ජලය ඉතිරි කර ගන්න තිබුණා. යම් ප්‍රමාණයක් වාෂ්ප වුවත් වැඩි ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ ජලය කෘෂිකර්මයට පානීය ජල අවශ්‍යතා සඳහා යොදා ගන්න තිබුණා. මේ සියල්ල අතරේ ජනාධිපතිගේ සිහිනය සැබෑ කරන්න මොරගහකන්ද ජලාශය විවෘත කළා. නියඟය නිසා භූගත ජල මට්ටම පහතට ගිහින් තිබෙන්නේ. වියලි පොලව නිසා ජලාශයට යොමු කරන ජල කඳ පොලවට උරා ගන්නවා. නියඟය මැද ජලාශය විවෘත කිරීමෙන් විශාල ජල කඳක් නාස්ති වුණා. ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට කෘෂිකාර්මික අවශ්‍යතාවයට විදුලිය නිෂ්පාදනයට යොදා ගන්න තිබුනු ජලය තමයි අද මොරගහ කන්දේ මහ පොළවට උරාගනිමින් අතුරුදහන් වෙමින් පවතින්නේ. මීට වඩා තෙත් කාළ ගුණයක වැසිසමයක විවෘත කළ යුතුව තිබුනු මොරගහ කන්ද මහා ජලාශය ජනපතිතුමන්ගේ සිහින සැබෑ කරන්න මහා නියගයක් මැද විවෘත කිරීමෙන් මේ නියං අර්බුදය ජල අර්බුදය තීවෟර කරන්න ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා.

ජනපති සහ අගමැති එකට තබා කොන්ක්‍රීට් දැමුවේ කවුද?

මැතිවරණ සමීප වන විට ශ්‍රිලනිප නායකයින්ට මහින්ද මැතිතුමා සිහිපත් වෙනවා. චාටු කතා කියලා එතුමාව තමන්ගේ වේදිකාවට ගොඩ කර ගත්තේ නැති නම් ඔවුන් අන්ත පරාජයකට ලක් වන බව දන්නවා. මැතිවරණය අවසන් වුණාම බැන වදිමින් අපහාස කරනවා. ජනපති සිරිසේන නායකත්වයේ සිටින තෙක් පිවිතුරු හෙළ උරුමය සංධානයෙන් මැතිවරණ තරග කරන්නේ නෑ කියලා අපි කිව්වේ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වා සතියක් ඇතුලතයි.
පුංචි ඡන්දයේ දී අපි එකට තරග කළොත් මහින්ද මැතිතුමාගේ සරණෙන් දිනාවි. ඊට පස්සේ ජාතික ලැයිස්තුවට කළ දේ ප්‍රසාද මන්ත්‍රි ධූරයන්ට කරාවි. සෑම නගර සභාවක ප්‍රාදේශීය සභාවකම දිනන පැත්තට ප්‍රසාද මන්ත්‍රි ධූර දෙකක් ලැබෙනවා. ඒකට‍ නම් කරන්නේ සංධානයේ මහ ලේකම්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පැරදුනු අයට ඇමති ධූර දුන්නා වගේ පැරදුනු දෙන්නෙක් ප්‍රසාද මන්ත්‍රි ධූර වලින් පත් කරලා සභාපති උපසභාපති කරන්න පුළුවන්. ඒ නිසා රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑ.

මේ සංධානය යටතේ තරග කරන්න බැරි වුණත් අගමැතිගේ දේශද්‍රෝහි වැඩපිලිවෙල පිලිබඳ ජනාධිපතිට ඇත්තටම කලකිරීමක් තිබෙනවා නම් අපට අළුත් සංධානයක් බිහි කරන්න පුළුවන්. ඒ සංධානයේ ලේකම් පත් කිරීම වගේම ඉවත් කිරීමත් සාමුහිකව පක්ෂ නායකයින් කළ යුතු දෙයක් මිස සංධානයේ නායකයාගේ තනි මතයට කරන්න බෑ කියලා ව්‍යවස්ථාවෙන්ම සහතික වෙන්න ඕනෑ.

ජනපති සිරිසේන එජාපය දාලා ඒවි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඒක ජීවිතය අවදානමට තබන තීන්දුවක්. ජනපති සිරිසේන සහ අගමැති රනිල් බැරල් එකකට බස්සලා ඉන තෙක් කොන්ක්‍රිට් දාලා ගියේ සී අයි ඒ සහ රෝ කියන සංවිධාන දෙක. උඩු කය නිදහස් නිසා දෙන්නාට රණ්ඩු වෙන්න පුළුවන්. නමුත් යටි කය කොන්ක්‍රිට් දාලා නිසා දෙන්නාට වෙන් වෙන්න බෑ. නමුත් ඒ අවදානම ජනපතිතුමන් ගන්න ලෑස්තිනම් අපි ලෑස්තියි රටේ පැත්තෙන් ඒ ආණ්ඩු පෙරළිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබාදෙන්න.

ආණ්ඩු පෙරලියට ජනපති කතානායක නැතිවම බැරිද?

මීට සති තුනකට පෙර මාධ්‍ය හමුවේ දී හම්බන්තොට චීනයටත් ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ ඇමෙරිකාවටත් ලබා දීමේ සැලසුමක් තිබෙන බව අපි හෙලි කළා. පසුගිය සතියේ මාධ්‍ය හමුවේ දී චීනයට හම්බන්තොට ලබා දෙනවාට ඉන්දියාව විරෝධය පල නොකරන්නේ චීනය කපන පාර දිගේ ඇවිත් ත්‍රිකුණාමලය අත්පත් කර ගැනීමටයි කියා අපි කිව්වා. ආණ්ඩුවේ ඇමතිවරු අපට දවල් හීන දකිනවා කියලා ඔච්චම් කළා. ඔන්න දැන් ෆොන්සේකා ඇමතිතුමා විතරක් නොවේ අගමැතිත් අපි කියූ දෙය නිවැරදියි කියා තහවුරු කර තිබෙනවා.ෆොන්සේකා ඇමතිතුමා ඉන්දියාවෙ ඉදන් අගමැතිතුමන් ස්විස්ටර්ලන්තයේ ඉදන් කියනවා උදය ගම්මන්පිල කියපු දේ ඇත්ත කියලා. අපි කියන දේ බොරුයි කියන අයටම සිද්ද වෙනවා පසුව ඒක ඇත්ත කියලා පිළිගන්න.

අවදානම තිබෙන්නේ ඉන්දියාව චීනය හා ඇමරිකාව කියන මේ ලෝක බලවතුන් තුන්දෙනා රට ඇතුලට දාගත්තොත් ඉන් එහාට ශ්‍රී ලංකාව ස්වාධීන රටක් නෙමෙයි. ඉන් අනතුරුව අපේ රටේ ඊලග ජනපති කවුද ? අගමැති කවුද ? ඇමතිවරු කවුද ? කියන එක තීරණය කරන්නේ මේ ලෝක බලවතුන් මිසක් රටේ ජනතාව නෙමෙයි. 1989 පැනමාවේ ජනපති මැනුවෙල් ගෝරින්ට අත් වූ ඉරණම තමයි ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොකරන ලංකාවේ නායකයන්ටත් අත් වෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන්ට අත් වූ ඉරණම අපි දැක්කා ලෝක බලවතුන් ලංකාවේ ගොඩ බැස නොසිටියදී. එහෙමනම් ලෝක බලවතුන් තුන්දෙනෙක් මේ වසරේ ලංකාවට එනවනම් වහාම ඊට පෙර කෙලෙසකින් හෝ මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුමයි. මේ වසර තුල මේ ආණ්ඩුව පෙරලුවේ නැති නම් අපිට භාර ගන්න රටක් ඉතිරි කරන එකක් නෑ.

ජනාධිපති උදාන වාක්‍ය කියනවා ජනාධිපතිගේ සහ කතානායකගේ සහය නැතුව ආණ්ඩුව පෙරලන්න බෑ කියලා. මේක පට්ටපල් බොරුවක්.
ලංකාවේ තමයි ලෝකයේ බලගතුම ජනපති ඉන්නේ කියලා මිථ්‍යාවක් පතුරලා තිබෙනවා. අපේ රටේ බලය තිබෙන්නේ ජනපතිටවත් අගමැතිටවත් නොවේ. පාර්ලිමේන්තුවේ බලය තිබෙන කෙනාට. බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුවේ බලය තිබුණේ ජනාධිපතිට නිසා ජනාධිපති බලවත් වගේ පේනවා. නමුත් අගමැති පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත්තාම ඔය මහ ලොකු විධායක ජනාධිපති පඹයෙකු ගාණට වැටෙනවා. 1994 චන්ද්‍රිකා මැතිණිය පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගත් විට රට පාලනය කලේ ජනපති විජේතුංග නොවේ අගමැතිනි චන්ද්‍රිකා. ඒ වගේම 2001 දී අගමැති රනිල් පාර්ලිමේන්තුවේ බහුතරය අත්පත් කර ගත්තාම රට පාලනය කලේ ජනපතිනි චන්ද්‍රිකා නොවේ. අගමැති රනිල්. දැනුත් පේනවානෙ. දැන් විධායක බලය තියෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට. ආසන 113 නැතත්පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ අගමැතිතුමන්ට. පාර්ලිමේන්තු බලය තිබෙන රනිල් මිස ජනාධිපති නොවේ රට පාලනය කරන්නේ. ජනාධිපතිතුමන් පත්තරෙන් තමයි දැන ගන්නේ රටේ මොකද වෙන්නේ කියලා. අපි වගේම තමයි එතුමත්. ඒ විතරක් නෙමේ විධායක ජනපතුමන් අගමැතිතුමන්ට කියනවා ගරු අගමැතිතුමනි හම්බන්තොටට එපානම් අනේ මට පොළොන්නරුවටවත් මේක දෙන්න. එතුමන්ටත් එසේ කියන්න වෙලා තියෙන්නේ මේ රටේ සැබෑ පාලකයා වෙලා තියෙන්නේ ජනපති නෙමෙයි පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැතියි. ඒ නිසා පාර්ලිමේන්තු බහුතරය හදා ගත්තොත් ජනාධිපති සහය දුන්නත් නැතත් රට පාලනය කරන්න පුළුවන්.

මොකද ඇමරිකාවේ පූර්න විධායක ජනපති ක්‍රමයක් තිබුනත් ලංකාව ප්‍රංශය වගේ රටවල තියෙන්නේ අර්ධ විධායක ජනපති ක්‍රමයක්. එතනදි වඩා බලවත් ජනාධිපතිද අගමැතිද කියන එක තීරනය වෙන්නේ පාර්ලිමේන්තු බලය මේ දෙන්නාගෙන් කාටද තියෙන්නේ කියන එක මතයි.

ඒ නිසා පාර්ලිම්න්තුවේ ඔළුගෙඩි මාරුව 2017 සිදු කිරීම රටට කල හැකි එකම යහපත් විසදුම වෙනවා.මේක නොකලොත් ඉන්පසු ශ්‍රී ලංකාව කියලා රටක් නමට තියේවි සැබවින් ඉතිරිවෙන එකක් නෑ.

පලාත් සභා මැතිවරණත් කල් දැමීමට ආණ්ඩුවෙන් සැලසුමක්

අපට දැන් තොරතුරු ලැබිලා තියෙනවා ආන්ඩුවේ තවත් සැලැස්මක් ගැන, මේ ආණ්ඩුව ආර්ථික අර්බූදය මැද මැතිවරණයකට ගියොත් පළාත් සභා මැතිවරණය අන්ත පරාජයකට ලක් වෙන නිසා පළාත් සභා පනත සංශෝධනය කර පළාත් සභා මැතිවරණ වසරකින් කල් දාන්න සාකච්ඡා කරමින් ඉන්නවා කියලා ආණ්ඩුවේම ඇමතිවරයෙක් පෙරේදා රාත්‍රියේ මාව හමුවී රටේ තත්වය ගැන කතා කරමින් ඉන්න විට දැනුම් දුන්නා.

– අරවින්ද අතුකෝරල

9 views
Main News