ජනබල විරෝධයෙන් ජනාධිපති-අගමැති පැය 12ක් නිවාස අඩස්සියේ…

September 6, 2018 at 2:10 pm | lanka C news
ජනබල විරෝධයෙන් ජනාධිපති-අගමැති පැය 12ක් නිවාස අඩස්සියේ…

ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පුවත්පත් නිවේදනය ….

රට අඳුරු යුගයක් කරා රැගෙන යමින් තිබෙන යහපාලන ආණ්ඩුවට එරෙහිව තවත් එක් දැවැන්ත ජනතා විරෝධයක් කොළඹ දී පවත්වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටු වන්නෙමු. බලයට පත් වී වසර තුනක් තිස්සේ ජාතික සම්පත් විකුණමින්, ජාතික ආරක්ෂාව විනාශ කරමින්, ජනතා මුදල් මංකොල්ල කමින් රට අගාධයට ඇද දමන වර්තමාන ආණ්ඩුව, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඊයේ (05) කොළඹට එක්රොක් වී දුන් පණිවිඩය තේරුම් ගත යුතු බව අප කල්පනා කරන්නෙමු.

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය උද්ඝෝෂනය අසාර්ථක බවට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අපට කනගාටුවක් නැත. මන්ද ගල් ගසන්නේ පල ඇති රුකට බව අප හොඳින් දන්නා බැවිනි. කොළඹට රැස් වූ ජනතාව දැක දැකත් උද්ඝෝෂනය අසාර්ථක බව කිව හැක්කේ ආණ්ඩුවට කත් අදින කුහකයන් හට පමණකි. කවුරු කෙසේ කීවත් අද රටේ ජනබලයට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව නැවත වරක් තහවුරු වී තිබේ. අවලාද නොනගා හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන  ලෙස අපි ආණ්ඩුවට අභියෝග කරමු.

ජනබලය කොළඹට උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට ආණ්ඩුව පසුගිය සති කිහිපයේ නොදැරූ උත්සාහයක් නැත. උද්ඝෝෂනයට පෞද්ගලික බස් රථ ලබා දීම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ලවා තහනම් කරවන ලදී. කොළඹ නගරයේ ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීමේ අයිතිය අපට අහිමි කෙරිණි. සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් ආයතන ප්‍රධානීන් ලවා බියවැද්දීම කටයුතු කර තිබුණේ නිර්ලජ්ජිත ආකාරයටය.

උද්ඝෝෂනය දා රට පුරා සිටින පොලිස් නිලධාරීන් කොළඹට කැඳවා, රාජ්‍ය ආයතනවල ආරක්ෂාවට එස්. ටී. එෆ් භටයන් හට පවරා කොළඹ නගරය පොලිස් නගරයක් බවට පත් කර තිබුණි. එහෙත් ජනබලය කොළඹට ගලා ඒම වැලක්වීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. ජනාධිපති, අගමැති දෙපළ පැය 12ක් නිවාස අඩස්සියේ තබමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කෙරුණු ජනබලය මේ රටේ පැවැති අතිසාර්ථකම උද්ඝෝෂණය බව අපගේ විශ්වාසයයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වු 2015 වසරේ සිට ගෙවුණු වසර තුනක කාලය තුළ ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ අපට හැකි විය. එම කාල සීමාව තුළ ඒකාබද්ධ විපක්ෂය ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කළ ආකාරය මෙරට දේශපාලන ඉතිහාසයෙහි රන් අකුරින් සටහන් වනු නිසැකය.

මහනුවර සිට බලා ආ ජනබලය පාගමන, කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගණය පිරි ඉතිරී ගිය මැයි රැලිය මෙන්ම ජනබලය කොළඹට උද්ඝෝෂනය ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙරටු කර ගත් ජනතාවාදී බලවේගයේ ශක්තිය ලොවට මැනවින් පැහැදිලි කරන්නට සමත් විය. අද රටම එක හඬින් කියා සිටින්නේ ජන බලයක් නොමැති ආණ්ඩුව ගෙදර යා යුතු බවය.

පාර්ලිමේන්තුවේ තුළ මෙන්ම ඉන් පිටතත් අප කළ සටන් නිසා ආණ්ඩුවේ අවසානය ආරම්භ වී තිබේ. ජනමතයට හිස නමා ගෙදර යන්නැයි අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නෙමු. එසේ නොවුවහොත් තවත් වැඩි දිනක් යන්නට මත්තෙන් ආණ්ඩුව ගෙදර යැවීමට අප කටයුතු කරන බව ජාතියේ නාමයෙන් දිවුරා ප්‍රකාශ කරමු. අපේ ගමන ආණ්ඩුව ගෙදර යවන තුරු නතර කිරීමට කිසිවකුටත් වැලක්විය නොහැක.

ජනබලය කොළඹට උද්ඝෝෂනය සාර්ථක කරගැනීමට දායකත්වය දැක් වූ සියලුදෙනා හට අපගේ හදපිරි ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු. ඉතාමත් විනයගරුකව හා සාමකාමීව උද්ඝෝෂනයට එක් වූ ජනතාවට අපගේ ප්‍රණාමය පුදකරන්නේ බැතියෙනි. එසේම ආණ්ඩුවේ තර්ජන ගර්ජනවලට බිය නොවී උද්ඝෝෂනය ජනතාව අතරට ගෙනයාමට දායකත්වය දැක් වූ මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට ද අප‍ගේ කෘතඥතාව හිමිවේ.

එසේම උද්ඝෝෂනයේ සංවිධාන කටයුතුවලට උරදෙමින්, අඩුපාඩු ‍සකස් කරමින් අප දිරිගැන් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට සහ සමාජිකයන් හට ද අප ස්තුතිවන්ත වන්නෙමු. නැවත වරක් අප ආණ්ඩුවට සිහිපත් කරනුයේ කරුණාකර ජනතාවගේ සංඥාව තේරුම් ගන්නා ලෙසය ‍එසේ නොවුණහොත් මීළඟට කොළඹට රොද බඳින ජනගඟ ආපසු හැරවීමට කිසිවකුටත් නොහැකි වනු ඇත.

ප්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු

149 views
Main News