ජනාධිපතිගේ නියෝග ගනන් ගන්නේවත් නෑ..

August 26, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපතිගේ නියෝග ගනන් ගන්නේවත් නෑ..

ඇතැම් ජනතා නියෝජිතයින් ආඳාගේ පිටට සමාන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු නොකිරීමෙන් ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නොහැකි වී තිබෙන්නේ මේ හේතුව නිසා බවද ඒ මහතා අවධාරණය කළේය.

පුත්තලම් දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණමඩුව එජාප පක්‍ෂ කාර්යාලයේ පැවැති සාක‏ච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

වයඹ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක යකමුණ වාරි ඇල ව්‍යාපෘතිය නිසි පරිදි ක්‍රියාත්ම නොවන තත්ත්වයක් තිබෙනවා. මේ නිසා ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයිමටද නොහැකි වී තිබෙනවා. 2018 ජූනි මස 13 දා මැදගොඩ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ග්‍රාම ශක්ති වැඩසටහනේදීද මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිවරයා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නේ යකමුණ ව්‍යාපාරයේ සියළු වගකීම් වාරිමාර්ග අමාත්‍යංශය වෙත පැවරීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ දක්වා ක්‍රියාකර නැහැ.

ජනාධිපතිතුමා කියලත් මේ අය නිසිලෙස කටයුතු කරන්නේ නෑ. මෙම හැසිරීම්වලින් අසරණ වන්නේ ජනතාවයි. මේවා පුද්ගලික බූදල නෙමෙයි. රජයෙන් හෝ පළාත් සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් හෝ මේ කටයුතු නිසි පරිදි සිදුවිය යුතුයි. හැබැයි එසේ නොවෙන තැනදී අපි මැදිහත් වෙනවා. යකමුණ ව්‍යාපාරයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මුදල් යොදවන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය පැවරීම් සිදු කරන්න වයඹ පළාත් සභාව මේ දක්වා කටයුතු කර නැහැ. දැන් මාස දෙකකුත් ගත වී අවසන්. ඉතිං කොහොමද වැඩ කරන්නේ. ආඳාගේ පිට වගේ කියලා කියමනකුත් තියනවනේ. ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිනම් කිසිවක් කරන්න බෑ. හා කියනවා, පස්සේ සද්දේ නැතිව ඔහේ ඉන්නවා.

කොහොම වුනන් යකමුණ ව්‍යාපාරය නගා සිටුවන්න අපට අවශ්‍යයි. ඒ නිසා ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම දැනුම්වත් කරන්න පියවර ගන්නවා.

– ජයකාන්ත ලියනගේ

53 views
Main News