ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම්..

July 2, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපතිට විරුද්දව 2/3කින් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න සූදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන තීන්දුව ගැන විවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තුවේ සභා නායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එවන් විවාදයක් අවශ්‍ය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂයක් තමන්ගෙන් ඉල්ලීමක් කළහොත් එය ලබාදීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ එම තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දේශපාලන පක්ෂ විරෝධය පළ කරන බවත් එම දේශපාලන පක්ෂ වලට අවශ්‍ය නම් එල්ලා මැරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් එවන් යෝජනාවක් සම්මත කර ගත්තද එමගින් ජනාධිපතිවරයාගේ තීන්දුවට බලපෑම් කළ නොහැකි බවද පවසන සභානායකවරයා එල්ලා මැරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ඇති එකම පුද්ගලයා විධායක ජනාධිපතිවරයා බවද පෙන්වා දෙයි.

මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීන්දුවට එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්‍ෂ මහතා, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දැනටමත් විරෝධය පළකර ඇති අතර එයට පක්ෂ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවෙයි.

ඒ අනුව විවාදයක් අවසානයේ ඡුන්ද විමසීමක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයා ගේ යෝජනාව 2/3කින් පරාජය වීමට වැඩි ඉඩකඩක් පවතී.

79 views
Main News