ජනාධිපතියි මේ හොරු රැල බලයට ගෙනාවේ… ඔහුයි මේ රට හොරුන්ට උගස් තිබ්බේ.. ශ‍්‍රීලනිප නායකයා දෙබිඞ්ඩෙක්..

October 15, 2017 at 2:10 pm | lanka C news
ජනාධිපතියි මේ හොරු රැල බලයට ගෙනාවේ… ඔහුයි මේ රට හොරුන්ට උගස් තිබ්බේ.. ශ‍්‍රීලනිප නායකයා දෙබිඞ්ඩෙක්..

එක පැත්තකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැරසෙන අතර අනෙක් පැත්තෙන් ඔවුන් ආසන සංවිධායක ධූරවලින් නෙරපා හැරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දෙබිඩි පිළිවෙත හෙළි කිරීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සමඟ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති හමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමනට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකතු කරගන්න ඕනේ කියලා පක්ෂයේ පිරිසක් පසුගිය සතියේ සාකච්ඡා කර තිබෙනවා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ සඳහා අපේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමට එතැන දී තීන්දු කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැවතත් පක්ෂයට එකතු කරගන්න සිකුරාදා ලියුම් අත්සන් තබන ගමන් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා අපේ මන්ත්‍රීවරුන් සංවිධායක ධූරවලින් ඉවත් කරන්න කටයුතු කළා.  එක පැත්තකින් අපට සුහදව අත දිගු කරන ගමන අනෙක අතෙන් කොනිත්තන එක තමයි මේ දෙබිඩි නායකත්වයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ.

පක්ෂ නායකත්වයට ඒකාබද්ධ විපක්ෂයේ අපිව මතක් වෙන්නේ ඡන්දයක් කිට්ටු වුණාමයි. ඡන්දෙට ඉස්සර අපිව ළඟට අරන් හුරතල් කරලා ඡන්ද ටික පෙට්ටියට දාගෙන අපට ගහලා පන්න ගන්න එක තමයි මේ නායකයාගේ ක්‍රියාපිළිවෙත. ඒක පසුගිය මහ මැතිවරණයේ දී ඔප්පු වුණා.

ඒකාබද්ධ විපක්ෂය විදියට අද එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩිම ජනප්‍රසාදයක් සහිත ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් කණ්ඩායමක්.  ඒකාබද්ධ විපක්ෂයේ අපට ජනතාව පවරපු වගකීමක් තිබෙනවා. ඒ තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව පළවා හැරීම. ඒකාබද්ධ විපක්ෂයේ අපි කැපවෙලා ඉන්නේ ඒ යුතුකම වෙනුවෙන්.

අපි ජනතාව වෙනුවෙන් වැඩ කරන කොට අපේම පක්ෂය අපට කෙණෙහිලිකම් කරනවා නම් ඔවුන් සමඟ එක වාඩි වෙලා සාකච්ඡා කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අතට අරගෙන තියෙන්නේ සැබෑ ජනබලයක් සහිත කණ්ඩායමක් නොවෙයි.

ඔවුන් අද මේ පක්ෂය අරගෙන යන්න හදන්නේ වළපල්ලට. පක්ෂයේ ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කරමින් ඔවුන් කටයුතු කරන ආකාරය දිහා බැලුවම අපට පේන්න තියෙන්නේ පක්ෂය ගොඩනැගීමේ වුවමනාවක් නොව පක්ෂය විනාශ කිරීමේ වුවමනාවක් මේ අයට තිබෙන බවයි.

මේ අයට වුවමනා වෙලා තියෙන්නේ සාදාකාලිකවම එක්සත් ජාතික පක්ෂයට බලයේ ඉන්න පුළුවන් පසුබිමක් හදන්නයි. 29 වතාවක් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදලා දීලා තවදුරටත් රටේ සම්පත මංකොල්ල කන්න ඉඩ හදා දුන්නේ අපේම පක්ෂයේ අය විසින් වීම තමයි අපට තිබෙන කණගාටුව.

එක්සත් ජාතික පක්ෂය බලයට ආපු හැමදාම කළේ රටේ සම්පත් විදේශිකයන්ට කුණුකොල්ලයට විකුණන එක. එහෙමත් නැත්නම් රාජ්‍ය ආයතන සියල්ල සූරා කමින් තමන්ගේ මඩි තර කරගන්න එක. එක්සත් ජාතික පකෂයේ මේ කොල්ලකාර ප්‍රතිපත්ති හින්දා තමයි ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණේ.

අපේම අය මුල්වෙලා හදලා දීපු මේ හවුල් ආණ්ඩුව ඇතුළේ එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කරලා තියෙන හැටි බලන්න. මහ බැංකු මංකොල්ලය කියන්නේ මුළු ආසියාවෙම සිද්ධ වෙච්ච ලොකුම මංකොල්ලය. ඒකට එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ සිට ඇඟිල්ල දිගු වෙලා තියෙනවා.

ඒ හැර බැඳුම්කර කොමිසම දැන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, ලේකම්, ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගෙන් කටඋත්තර ලබාගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය අද හොරුන්ගේ උරුමයක් වෙලා තියෙනවා වගේම ඒ හොරුත් එක්ක ආණ්ඩු කරන අපේ අයටත් හොර නාමය ගෑවිලා තිබෙනවා.

ඊළඟට තායිවානයේ බැංකු මංකොල්ලයට සම්බන්ධ අයත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සමීප සබඳතා පවත්වා තිබෙනවා. හොරුන්ව ආයතන සභාපතිකම්වලටපත් කිරීමේ ප්‍රමුඛයා බවට අද එක්සත ජාතික පක්ෂය පත්වෙලා. එහෙම වෙලා තියෙන්නේ මේ සේරම හොරු එකම හොර රැලක සාමාජිකයන් නිසයි.

එදා සෝමාලියාවේ මුහුදු කොල්ලකාරයො වගේ අද ලංකාවේ බැංකු කොල්ලකාරයෝ ලෝක ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. වැලේ වැල් නැතුව හිටපු රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදලා දීපු යහපාලන ප්‍රේමීන් සියලුදෙනා මේකට වගකියන්න ඕනේ.

මම දැක්කේ නැහැ, මම දන්නේ නැහැ කියලා මේකෙන් පැනලා යන්න ජනාධිපතිවරයාට බැහැ. ඔහු තමයි මේ හොරු රැල බලයට ගෙනාවේ. ඔහු තමයි මේ රට හොරුන්ට උගස් තිබ්බේ. දන්නේ නෑ කියන්න ඉස්සර දවස ගාණේ පත්තර ටිකවත් බලලා අද රටේ වෙන දේවල් දැනගන්න කියලා මම ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

12 views
Main News