ජනාධිපතිවරණයට පෙර මහින්ද-ගෝඨා හිර කරන්න සූදානම්..

September 1, 2018 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණයට පෙර මහින්ද-ගෝඨා හිර කරන්න සූදානම්..

1982 ජනාධිපතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා සේ 2019 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන කොටු කිරීමේ සැලැස්මක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා “ඉරිදා මව්බිම” ට ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පසුබිම ඉතා සූක්ෂ්ම ලෙස අදියරෙන් අදියර සකස් කෙරෙමින් පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම මෙම ආණ්ඩුවේ දේශපාලන දඩයම අරමුණු කරගෙන සිදුවූවක් බවට ඉතා පැහැදිලි යැයි හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

පැය කිහිපයක් තිස්සේ රහස් පොලිස් නිලධාරීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලද්දේ එකම වචනයක් ඒ මහතාගෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් බවද ඔහු ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා නිදහස් කිරීම සඳහා ඔබ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දුන්නාද? යනුවෙන් රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළ බවත් අපරාධ නීති සංග්‍රහය අනුව එවැනි යෝජනාවක් රහස් පොලිසියට ඉදිරිපත් කළ නොහැකි බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ බවත් රහස් පොලිසියට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සම්බන්ධ කරගැනීමට බව මෙම ප්‍රශ්න කිරීම්වලින් පෙන්නුම් කෙරෙන බවද සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි. කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධියේ කිසිදු සාක්ෂිකරුවකු හෝ සැකකරුවකු නොවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා අපහසුතාවට ලක්වන ආකාරයෙන් පැය තුනක් ප්‍රශ්න කිරීම පිළිබඳව අවශ්‍ය නම් රහස් පොලිසියට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතියට අනුව නඩු පැවරිය හැකි බවද හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දුන්නාද යනුවෙන් යෝජනා කිරීම සහ එය ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් කටඋත්තරය මහින්ද රාජපක්ෂ මහතාගේ අස්සන සහිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තමා රහස් පොලිසියට අභියෝග කරන බවත් එවිට රහස් පොලිසියේ පවතින දේශපාලන අරමුණු ඉතා හොඳින් රටට හෙළිවන බවත් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේදී පැහැරගැනීමට ලක්වීම සම්බන්ධයෙන් සැක කෙරෙන්නේ පුවත්පතක පළවූ වාර්තාවක් මුල්කරගෙන එම සිදුවීම සිදුවන්නට ඇති බවයි.

එම පුවත්පත් වාර්තාවෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයා රාජපක්ෂ පවුලට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම පුද්ගලයා මේ වන විට වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් දරමින් සිටින බවත් සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාටවත් නොමැති උනන්දුවක් පසුගිය කාලය තුළ මෙම සිද්ධිය ගැන ආණ්ඩුවට ඇතිවී තිබෙන බවත් ඒ අනුව දෙවරක්ම ඕස්ට්‍රේලියාවට ගිය රහස් පොලිස් නිලධාරීන් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන බවත් සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.

මීට වසර දහයකට පෙර වූ සිද්ධියක් මේ ආණ්ඩුවටත් වසර තුනක් ඉක්මවූ පසු ජනාධිපතිවරණය සමීප වූ විට යළි මතක් වී කථානායක කරු ජයසූරිය මහතාගේ කටඋත්තරයකට අනුව රහස් පොලිසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් මෙහි තිබෙන දේශපාලන වුවමනාව වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙන බවද හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

176 views
Main News