ජනාධිපතිවරණයත් කල් දැමීමට කුමන්ත‍්‍රණයක්..

March 4, 2019 at 6:28 am | lanka C news
ජනාධිපතිවරණයත් කල් දැමීමට කුමන්ත‍්‍රණයක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ඉතිහාසයේ දෙවතාවක් හැරුණුකොට අන් සෑම වතාවකම අස්ථාවර පාර්ලිමේන්තු බිහිවූ සමානුපාතික මැතිවරණ ක්‍රමය තබාගෙන බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක්. ලෝකයේ මේ ක්‍රම දෙකම තිබෙනවා. ඒ ඒ රටවල් එය තෝරා ගන්නේ අවස්ථානුකූලවයි. සාමාන්‍යයෙන් දිවා ආහාරයට අපේ රටේ පුද්ගලයන්ගෙන් සියයට අනුවක්ම ගන්නේ බත්. ඉන් කියවෙන්නේ නැහැ කිරිබත් නරකයි කියලා. බොහෝ දෙනෙක් උදේට කිරිබත් කනවා. නමුත් රෑට කිරිබත් කන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට අනුවයි කෑම ගැලපෙන්නෙ. රට අනුව තමයි දේශපාලන ක්‍රමයත් ගැලපෙන්නෙ. ශ්‍රී ලංකාව වැනි විවිධ කාරණා මත බෙදුණු, ජාත්‍යන්තර බලපෑම්වලට ලක්වී තිබෙන, රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයට නතු වී තිබෙන, මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන බවට චෝදනා එල්ල වී තිබෙන, රටකට පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය යැයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් මැතිවරණ ක්‍රමයත් දහතුන්වන සංශෝධනය වෙනස් විය යුතුමයි. නමුත් දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට යනවා කියන්නේ අපට දිනාගත හැකි එකම මැතිවරණයත් අහිමි කර ගැනීමයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණය ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. නැත්නම් අස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට තියන්න සීමා නිර්ණ කොමිසමක් පත් කරමු කියලා.

නමුත් එයින් වෙන්නේ සීමා නිර්ණයට මුවා වී කල් දමන්නට බැරි එකම මැතිවරණය වන ජනාධිපතිවරණයත් අහෝසිවි යාමයි. ජනාධිපතිවරණයත් අහෝසි කරලා පාර්ලිමේන්තු මැතිවරණයටත් සීමා නිර්ණය කොමිසමක් දැම්මහම පාර්ලිමේන්තු මැතිවරණයටත් අබසරණයි.

2025 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ කිරිඇල්ල ඇමතිතුමාගේ සිහිනය සැබෑ කිරීමට අපේ පැත්තෙනුත් පාර කපා ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ උගුලට අපි ඇසුවේ නෑ කියන විශ්වාසය මට තිබෙනවා .

– අරවින්ද අතුකෝරල

74 views
Main News