ජනාධිපති අධිකරණයට අත පොවලා.. ව්‍යස්ථාවටත් සම්ප්‍රදායටත් පිටින් මහාධිකරණ විනිසුරුවෙක් පත් කරලා..

February 10, 2017 at 12:00 pm | lanka C news
ජනාධිපති අධිකරණයට අත පොවලා.. ව්‍යස්ථාවටත් සම්ප්‍රදායටත් පිටින් මහාධිකරණ විනිසුරුවෙක් පත් කරලා..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ සේවා සම්ප්‍රදාය කඩකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිඥවරයෙකුට මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සෘජු පත්වීමක් ලබාදී ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.

එම සංගමයේ ලේකම්, ගල්කිස්ස මහේස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙම වරද නිවරදි කිරීමේ හැකියාව පවත්නා බව පෙන්වාදී තිබේ.

මොවුන් 2017-02-03 වන දින කොළඹ දිසා අධිකරණයේදී රැස්වූ අධිකරණ සේවා සංගමයේ විධායක සභාවේ හදිසි විධායක සභා රැස්වීමේදී සම්මත කරගත් ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ පෞද්ගලික නීතිඥ වෘත්තියේ යෙදී සිටි රාමනාදන් කන්නන් මහතා සෘජුව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට පටහැණි බවයි.

මඩකළපුව අධිකරණයේ නීතිඥයෙකු ලෙස සේවය කරන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර 2017 පෙබරවාරි 01 දින දිවුරුම්දීමට නියමිත බව ඉකුත් 2017 ජනවාරි මස 31 වන දින දැනගැනීමට ලැබුණු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(02)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කරනු ලබන්නේ නීතිපතිවරයාගේ විමසීමෙන් පසු අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරනු ලැබූ නිර්දේශයක් මත ජනාධිපතිවරයා විසින් බවත් අධිකරණ සේවා සංගමය පෙන්වාදෙයි.

එහෙත් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් එවැනි නිර්දේශයක් සිදුකර තිබේද යන්න දැනගැනීම සඳහා ඉකුත් පෙබරවාරි මස 01 දින අධිකරණ සංගමයේ නිලධාරීන් පිරිසක් අගවිනිසුරුතුමා හමුවූ බවත්, එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකළ බව දැන්වූ බවත් අධිකරණ සේවා සංගමය සිහිපත් කරයි.

ඉක්බිතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙවැනි ඉල්ලීමක් සිදුකළේද යන්න අධිකරණ සේවා සංගමය විසින් සොයා බැලූ බවත්, එහිදී රාමනාදන් කන්නන් මහතා අධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව නීතිඥ සංගමයේ ලේකම් අමල් රන් දෙණිය මහතා විසින් තහවුරු කර සිටි බවත් අධිකරණ සේවා සංගමය පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමල් රන්දෙණිය මහතා කියා සිටියේ තම සංගමයේ විධායක සභාව රැස්වී ඊයේ දිනයේ (09) එළඹුණු තීරණයකට අනුව අධිකරණ සේවා සංගමය විසින් විමසා ඇති කරුණකට අදාළව ලිඛිතව පිළිතුරක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඉහළ අධිකරණයන්ට ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සෘජුව පත්කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඇති බවත්, එවැනි නිදසුන් අධිකරණ ක්ෂේත්‍රයේ පවත්නා බවත් පෙන්වා දුන් රන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ අදාළ රාමනාදන් කනන්නන් මහතා මෙම තනතුරට සුදුසුද නැද්ද යන්න පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් අධිකරණ සේවා සංගමය තම සංගමයෙන් විමසා සිටියේ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ඉල්ලීමක් කරනු ලැබුවේද යන්න බවත්, ඒ අනුව එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියට යටත්ව ඉල්ලා නොමැති බවත්, එවැන්නක් සාකච්ඡාවට ගෙන නොමැති බවත් පෙන්වාදුන් රන්දෙණිය මහතා ඒ බව ලිඛිතව දන්වා යැවීමට කටයුතු කරන බව අද දෙරණට කියා සිටියේය.

කෙසේ වෙතත් අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙන පරිදි රාමනාදන් කනන්න් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හෝ දැනුවත්ව නැත.

මෙම රාමනාදන් කන්නන් නීතිඥවරයා මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස පත්කරන ලෙසට යම් දේශපාලන පක්ෂයක් මගින් ඉල්ලීමක් කර තිබුණු බවත්, එයට තමන් අනුමැතිය ලබා නොදුන් බවත් තමාට අධිකරණ අමාත්‍යවරයා විසින් පැවසූ බවත්, මේ අනුව ඉතා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ අධිකරණ අමාත්‍යවරයා විසින් මේ පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැ.ති බවත් යයි අධිකරණ සේවා සංගමය කියා සිටියි.

අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පැහැදිලිවම තමන් වෙත ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි සහ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම නිර්දේශය ලබාදුන් බව බැවින් ඒ අනුව යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා සහ අගවිනිසුරුතුමා නොමග යවා ඇති බව පැහැදිලිව පෙනෙන බව අධිකරණ සේවා සංගමයේ අදහසයි.

කෙසේ වෙතත් ඉකුත් පෙබරවාරි මස 01 වන දින රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් බව සඳහන්ය.

අධිකරණ සේවා සංගමය පෙන්වාදෙන පරිදි රාමනාදන් කන්නන් 1997 වසරේ නීතිඥයෙකු ලෙස පත්වීම් ලැබූවෙකු වන අතර 2004 වර්ෂයේ සහ ඉන් පසු අවස්ථාවක මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමක් ඉල්ලා සම්මුඛ පරීක්ෂණයකටද පෙනී සිට ඇතත් එයින් අසමත්වීම මත ඔහු මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්කර නැත.

එසේම එම 2004 වර්ෂයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබ එහිදී ඉහළම ලකුණු ලබාගත් විනිශ්චයකාරවරයාද දැනට සිටින්නේ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ හතරවෙනි ස්ථානයේ බැව් අධිකරණ සේවා සංගමය පෙන්වාදෙයි.

ඒ අනුව මෙම 2004 වර්ෂයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබූ විනිශ්චයකාරවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරයාටත් ඉහළින් තවත් 39 දෙනෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටියදී එම වර්ෂයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් නොලැබූ පුද්ගලයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම කෙතරම් සාධාරණදැයි අධිකරණ සේවා සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ.

මහේස්ත්‍රාත් විභාගයට මුහුණදී එයින් සමත්ව සම්මුඛ පරීක්ෂණයකින්ද සමත්ව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබ වසර 16 ට වඩා වැඩි කාලයක් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස හා දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ විනිසුරුවන් සිටියදී (97 වසරේදී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් දැනට අධිකරණ සේවයේ විනිශ්චයකාරවරුන් සමග සසඳා බැලීමේදී ඔවුන්ට වඩා කනිෂ්ඨ නීතිඥවරයෙකු වන ඩී.එල්.ඒ මනාෆ් මහතා නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දී ඇත්තේ 1991 වර්ෂයේදීය.) රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම දැනට පහල අධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස සේවය කරනු ලබන සියලුම විනිශ්චයකාරවරුන් වෙත සිදුකරනු ලබන අසාධාරණයක් බැව් පැහැදිලිය.

මෑත කාලයේ මහාධිකරණයට සෘජුවම නීතිඥවරුන් පත්කිරීමේ සම්ප්‍රදායක් නොපැවති තත්ත්වයක් යටතේ සහ එවැනි පත්වීම් කිසිවිටකත් සිදුනොකරන බවට ජනාධිපතිවරයා විසින් පැහැදිලි පොරොන්දුවක් ලබාදී තිබියදී කරනු ලැබූ මෙම පත්වීම හේතුකොට ගෙන සියලුම විනිසුරුවරුන් විසින් ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබූ විශ්වාසය පළුදු විය හැකිබව අධිකරණ සේවා සංගමයේ අදහසයි.

එබැවින් මෙම පත්වීම කිසිදු ආකරයකින් සාධාරණීයකරණය කළ නොහැකි, අධිකරණ ක්ෂේත්‍ර යේ යහපැවැත්මට සම්පූර්ණයෙන්ම අහිතකර සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපෑම් කළ හැකි පත්වීමක් වන බැවින් මෙම පත්වීම සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසත්, මෙම තීරණය ආපසු හැරවිය හැකි බවත්, මෙම තීරණය නිවරදි කළ හැකි බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(02)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගෙන රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිශ්චයකාරධූරයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා සිටින බවත් අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

– Adaderana

54 views
Main News